ජනාධිපති ආරක්ෂක අංශය 'විසුරුවීමේ තීන්දුවක් නෑ'

Image caption අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා

පීඑස්ඩී හෙවත් පොලිස් ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමේ තීන්දුවක් ගෙන නැති බව මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය ජෝන් අමරතුංග බීබීසී සංදේශයට පැවසීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර ජනපති ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරීමට තීරණ කර ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ.

"එහෙම එකක් නම් නෑ. ජනාධිපති ආරක්ෂක අංශය පිළිබඳව තීන්දු කරන්නේ ජනාධිපතිගේ ආරක්ෂාව භාරව ඉන්න ප්‍රධානීන්. ඉතින් ඒ අය විටින් විට පොලිස් නිලධාරීන් මාරු කරනවා, වෙන වෙන කණ්ඩායම් අරගන්නවා," ඔහු පැවසීය.

ජනාධිපති ආරක්ෂාව ඇතුළු පොලිසිය සම්බන්ධ සියලු තීන්දු ගනු ලබන්නේ පොලිස්පතිවරයා සහ ජනාධිපති ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බවද සඳහන් කළේය.

'වැරදි ප්‍රවෘත්තියක්'

කෙසේ නමුත් ජනමාධ්‍ය එම වාර්තාව පළ කොට තිබුණේ අමාත්‍යවරයා උපුටා දක්වමින්.

"නෑ මම එහෙම එකක් කියල නෑ. ඒක මම හිතන්නේ වැරදි ප්‍රවෘත්තියක්. මම දැනුවත්ව නෙවෙයි ඒක කෙරෙන්නේ," අමාත්‍යවරයා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවසීය.

Image copyright Newsfirst
Image caption "නෑ මම එහෙම එකක් කියල නෑ. ඒක මම හිතන්නේ වැරදි ප්‍රවෘත්තියක්. මම දැනුවත්ව නෙවෙයි ඒක කෙරෙන්නේ"

රග්බි ක්‍රීඩක වසීම් තජුදීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනකු සම්බන්ධ බව හෙළි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා තිබුණි.

අඟුණකොළපැලැස්ස රැස්වීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියකු පිස්තොලයක් රැගෙන පැමිණීම ඇතුළු අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ නමුත් 19 වැනි සංශෝධනයෙන් අනතුරුව පොලිසියේ කිසිදු කටයුත්තකට තමන් මැදිහත් නොවන බවයි, අමාත්‍ය ජෝන් අමරතුංග සංදේශයට කියා සිටියේ.

"පොලිසිය දැන් ස්වාධීනයි," ඔහු පැවසීය.

පීඑස්ඩීය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්එම් වික්‍රමසිංහ වෙනත් අංශයකට මාරු කිරීමේ සැලසුමක් තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, එයද පොලිස්පතිවරයාට අදාළ කාර්යයක් බවයි.

මේ අතර ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මාරු කර යැවීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බව සංදේශයට අනාවරණය වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර