ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජපක්ෂ ආණ්ඩුව රට පාවා දුන්නා - සජිත්

ශ්‍රී ලංකාව 'කෑලි කෑලිවලට කැඩීමේ මහා කුමන්ත්‍රණයක්' පසුගිය රජය සමයේ දියත් වූ බව නිවාස සහ සමෘද්ධි කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

"මොකද පහුගිය රජය තමයි, යුද ජයග්‍රහණයේ නාමයෙන් රට තුල ජාති භේද, ආගම් භේද, කුල භේද, වර්ග භේද හැම භේදයක්ම ඇතිකරලා අර ටිටෝගේ කාලේ වගේ බෙදල රජකරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළේ," ඇමතිවරයා කියා සිටියේ හම්බන්තොටදී බීබීසී යේ අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඒ තුල රට කෑලි කෑලිවලට කැඩීමේ මහා කුමන්ත්‍රණයේ පීතෘවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා."

'අති විශිෂ්ඨ සේවයක්'

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් රට පාවාදීමට සැරසෙන බවට එක්සත් ජාතික පක්ෂය වෙත එල්ල වන චෝදනා අමාත්‍යවරයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

සිංහල බෞද්ධ ජනතාවට වඩා දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය මත යැපෙන බවට සිය පක්ෂයට එල්ල වන චෝදනාවද බැහැර කරන අමාත්‍ය සජිත් ප්‍රේමදාස එසේ ජාති, ආගම්වලට බෙදමින් ජනතා ඡන්දය වර්ග කිරීම ගැන තමාගේ මනාපයක් නොමැති බවත් පැවසීය.

ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව නූපන් දරුවාට පවා 'අති විශිෂ්ඨ සේවයක්' කිරීමට ගතව ගිය මාස හය ඇතුලත සිය ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

"අපි අතිවිශිෂ්ඨ වූ ජනතා සේවාවක් කරලා තියෙන්නේ තඹ දොයිතුවකවත් හොරකමක් නැතුව. වංචාවක් නැතුව," ඔහු පැවසීය.

කෙසේ නමුත් මහ බැංකු බැඳුම්කර සම්බන්ධ චෝදනාව පිළිබඳව කිසිවක් සඳහන් නොකරන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන තීන්දුව තමා පිළිගන්නා බවයි.