සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු අනාවරණය කරන්න - සන්ධ්‍යා

Image copyright Amnesty International

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු අනාවරණය කරන ලෙස ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටියි.

එසේම යුද හමුදාව විසින් තවත් පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ඇය නගන්නේ විශාල චෝදනාවක් බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි තිබේදැයි විමසූ විට ඇය පැවසුවේ විශ්වාස කටයුතු මාර්ග වලින් තමන් ඒ බව දැන ගත් බවයි.

එසේම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරු ලබා දී ඇති බව තමන් ට දැන ගන්නට ලැබී ඇති බවත් එම තොරතුරු සමහර මාධ්‍ය වෙත රහසිගතව ලැබී ඇති බවත් ඇය පවසන්නීය.

Image caption සන්ධ්‍යා එක්නැලිගොඩ විරෝධතාවක

අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගෙන් සැලකිය යුතු තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පවසන ඇය එම තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සහ යුද හමුදා ප්‍රකාශකයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර