එරාවුර් ප්‍රහාරයට වසර විසිපහක්

මඩකලපුවේ එරාවුර්හි මුස්ලිම් වැසියන් එකසිය විසි එක් දෙනකු එල්ටීටීඊය අතින් ඝාතනයට ලක් වූයේ මෙයින් වසර විසි පහකට ඉහතදී අද වැනි දිනයක.

ඝාතනයට ලක් වූවන් අතර කාන්තාවන් සහ ළමුන්ද සිටි අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

ඝාතනය සිදු වූ දිනය සිහියට නැගෙන විට දැඩි වේදනාවක් දැනෙන බව ප්‍රහාරයෙන් මව සහ සොහොයුරියන් දෙදෙනකු අහිමි වූ ගම්වැසියෙක් කියා සිටියේය.

‘ඒ වෙලාවේදී එල්ටීටීඊ කාරයෝ ඇවිල්ලා වටේටම වෙඩි තියලා සද්දේ එන කොට මම එලියට ඇවිල්ලා අහගෙන හිටියා සද්දේ මොකක්ද කියලා. එතකොට එල්ටීටීඊ කාරයෝ කපනවා කපනවා කියලා මුස්ලිම් අය කෑ ගහනවා’ එවකට විසි පස් වන වියේ පසු වූ තම්බිපිල්ලේ සේහුදාවුර් පැවසීය.

ඝාතන සම්බන්ධයෙන් සමාව දී ඇති මුත් එම සිදුවීම අමතක කළ නොහැකි බව එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති ඒඑල් මොහොමඩ් සඳහන් කළේය.

අමතක කළ නොහැකි මෙවැනි සිදුවීම් ලේඛන ගත කළත් අනාගත පරපුරේ යහපත වෙනුවෙන් සහ ජාතික සමගිය වෙනුවෙන් නැවත නැවතත් සිහිපත් කිරීම අවශ්‍ය නොවන බව එවකට ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ අබු හනීෆා පැවසුවේය.