ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගම්පහ සන්ධානයට - ප්‍රසන්න රණතුංග

එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරන බව ස්ථිර යයි බස්නාහිර පළාතේ මහ ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනවාරි 08 වැනි දින පැවැත්වුණු ජනපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අත්වුණේ හංසයා ලකුණින් තරග කළ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට.

නාම යෝජනා

කෙසේ නමුත් ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර තනිව තරග කිරීම තමන්ට වාසියක් බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

Image copyright Sarana Gunawardene
Image caption සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට නාමයෝජනා ලබා නොදුන් නමුත් ඔහුගේ බිරිඳට නාම යෝජනා ලබාදීම ජනතාව රැවටීමක්ද?

"ආසන 13 කින් ඡන්ද 65,000 ක් හංසයා ගෙන් අඩු වෙන කොට, අපි පැරදිච්ච ප්‍රමාණය ඡන්ද 5,000 ත් අඩු කළොත් අපි මේ වෙන කොට ඡන්ද 60,000 කින් ඉදිරියෙන් ඉන්නවා," ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ වැනි ප්‍රබල චරිතයක් නොමැති වීම පාඩුවක් නොවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, මෙවර මැතිවරණයේ ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ බවයි.

අනෙක් අතට සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට නාමයෝජනා ලබා නොදුන් නමුත් ඔහුගේ බිරිඳට නාම යෝජනා ලබාදීම ජනතාව රැවටීමක් නොවේ දැයි විමසූ විට මහ ඇමතිවරයා සඳහන් කළේ කිසිවකු වැරදිකරුවකු බව සනාථ කරන තුරු ඔහු හෝ ඇය නිර්දේශී බව නීතියේ පවා සඳහන් වන බවයි.

තමන්ට නාම යෝජනා ලබා නොදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග උත්සාහ කළ බව රහසක් නොවන්නේ යයි පවසන මහ ඇමතිවරයා, හිටපු ජනපතිනියගේ සහාය එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන සිය සහෝදරයාට සහාය පළ කිරීම මගින් සන්ධානයේ ඡන්ද ව්‍යාපාරයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් පැවසීය.