ආණ්ඩු පිහිටුවන්න අපේ උදව් නෑ - අනුර කුමාර

anura kumara Dissanayaka

රට තුළ රාජපක්ෂ විරෝධී ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පසු බිහිවීම ස්ථිර නිසා ජනතාවගේ අවධානය යොමුවිය යුත්තේ ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම සදහා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

බිබිසි සිංහල සේවයේ ෆේස් බුක් චැට් වැඩසටහනට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේ මහමැතිවරණයට පෙර තිබු ආකාරයටම ප්‍රධාන පක්ෂ දෙකේ සිටින පිරිස් එක්වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට මැතිවරණයෙන් පසුද කටයුතු කරනු ඇති බවයි

" මේ රටේ ජනතාව දැන් කල්පනා කළ යුත්තේ ආණ්ඩුව පිළිබඳව නෙවෙයි,ඒ ආණ්ඩුව ජනතාවට විරුද්ධව කටයුතු කරන කොට ඒකට විරුද්ධව හඩ නගන්න පුළුවන් ප්‍රභල විපක්ෂයක් ගොඩනැගීම,ඒ ප්‍රබල විපක්ෂයේ කාර්ය භාරයට පන පෙවිම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ"

ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම නව ආණ්ඩුවට එක්නොවන බව පැවසූ අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවක් පිහිටුවීමට තම සහය අවශ්‍ය නොවන බවයි ප්‍රකාශ කළේ.

" ආණ්ඩු පිහිටුවන්න අපේ සහය අවශ්‍ය නැහැ, මෙගොල්ලෝම එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හදා ගනී"

ජනතා විමුක්ති පෙරමුණට ජන්දය ලබාදීම හේතුවෙන් එකසත් ජාතික පක්ෂයේ ජන්ද ප්‍රමාණය අඩුවී මහින්ද රාජපක්ෂ බලයට පත්වීමට ඉඩ ඇති නේදැයි ෆේස් බුක් හරහා යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේ රාජපක්ෂ හිටපු ජාන්ධිපතිවරයා කිසි සේත්ම බලයට පත් නොවන බවට තමන්ට සහතික බවයි.

" මේ ජන්දෙන් පස්සේ වෙන්නේ රාජපක්ෂ මහත්තය පසෙක තබා අනික් අය එකතු වෙලා ආණ්ඩුවක් හදන එක"

හිටපු ජානාධිපතිවරයාට අත්වී ඇති ඉරණම ගැන තමන් කණගාටුවන බවත් ඔහුව භාවිතාකර පාර්ලිමේන්තුවට පැමිණීම ඔහු වටේ සිටි පිරිසකගේ බලාපොරොත්තුව වී ඇති බවද අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.