'මෛත්‍රී-රනිල් ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය ඇති කළා'

ranil and sirisena with kumarathunga

විවාදයට ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ සුළුතර ආණ්ඩුව සමත් වී ඇති බව ජාත්‍යන්තර ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයක් කියා සිටී.

බෙල්ජියම මූලස්ථාන කර ගත් International Crisis Group තම වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත් වීමත් සමඟම රාජපක්ෂ පාලනය තුළ තිබු බිය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ නව අපේක්ෂාවෙන් ජනිත වී ඇත.

ස්වාධීන කොමිෂන් සභා වලට ඉඩ සලසා දුන් දහ නමවෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු තවත් සාධනීය වෙනස්කම් කිරීමට සුළුතර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමත් වුවත් තවත් බොහෝ දේ කිරීමට තිබෙන බවයි වාර්තාව කියා සිටීන්නේ.

යුද්ධයෙන් ඇතිවූ ප්‍රතිවිපාක සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ ගත් නමුත් මෛත්‍රීපාල සිරිසේන හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය මුළුමනින්ම තහවුරු කරගත නොහැකි වීම හේතුවන් එම වැඩ පිළිවෙල අඩාල වූ බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

වාර්ගික සංහිඳියාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් බහුතරයක් හිටපු ජනාධිපතිවරයාට වැඩි මනාපයක් දක්වන අතරම මෙවර මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කණ්ඩායමට වැඩි බලයක් ලැබුනහොත් යහ පාලනය සහ වාර්ගික සංහිඳියාව ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන දුන් පොරොන්දු ඉටු කිරීමට අසීරු තත්වයක් උද්ගත විය හැකි බවයි වාර්තාව කියා සිටින්නේ.

Image copyright bbc

ශ්‍රි ලංකාවේ ආණ්ඩුවට එරෙහිව නැගී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන් ගේ වාර්තාව මානව හිමිකම් පිලිබඳ සැසිවාරයේදී සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී මතු කෙරෙන ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම අළුතින් පත්වෙන ආණ්ඩුවේ වගකීමක් බව වාර්තාව වැඩි දුරටත් කියා සිටී.