'මම කිසි දවසක එල්ටීටීඊ එකට මුදල් දුන්නේ නැහැ'

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය පවසන ආකාරයට දෙමළ ජාතික සන්ධානය සමග කිසිදු ගිවිසුමක් තමන් අත්සන් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද(13) කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජාතික පෙරමුණ 2015 මහ මැතිවරණය සඳහා පවත්වන අවසන් මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ.

තමා කිසි දිනක කොටි සංවිධානයට මුදල් ලබාදී නොමැති බව පැවසූ අගමැතිවරයා 2005 ජනාධිපතිවරණයේ දී සහය දැක්වීමට තමාට කොටි සංවිධානය ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවට එකඟ නොවූ බවද පැවසුවේය.

බිය සැක නැති සමාජයක්

තව දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ " ජනාධිපති කරනවා කිව්ව අවස්ථාවේදී අත්සන් කරන්න, කළේ නැත්නම් දැන් මොනවාටද අත්සන් කරන්නේ, එකක් තියෙනවා ෆෙඩරල් ක්‍රමයක් දෙන්නේ නැහැ, හැබැයි බලය බෙදනවා ගමට, දේශපාලනඥයන්ට නෙවෙයි ගමේ ඉන්න පොදු සංවිධාන වලට හා ආගමික නායකයන්ට" යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ තමන් විසින්ම විවේචනය කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඡායාරූප යොදා ගෙන ඡන්ද සටන සිදු කිරීමට තරම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බංකොලොත් වී ඇති බවයි.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ "මෛත්‍රී යුගයකට යන්න නම් ඔය ඉන්න එතනෝල් කාරයන්ටයි, කුඩු කාරයන්ටයි, දූෂිතයන්ටයි නම් බැහැ" යනුවෙනි.

අමාත්‍ය චම්පික රණවක පැවසුවේ බිය සැක නැති සමාජයක් දැන් බිහිවී ඇති නිසා මහින්ද රාජපක්ෂ රටේ ආරක්ෂක අමාත්‍යධුරය දැරූ අවස්ථාවේ දී ඒ අඳුරු යුගයට යාමට සුදානම් නැති බවයි.

රගර් ක්‍රීඩක තජුදින් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පසු පස සිටින කල්ලි ගැන ඉදිරියේ දී උසාවි මාර්ගයෙන් ජනතාවට දැන ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.