මැතිවරණ ව්‍යාපාරයේ ආකර්ෂණීය නායකයෝ

Image caption විපක්ෂනායක ලෙස තරග කළ අවස්ථාවේ මෙන් නොව අගමැති රනිල් වික්‍රමසිංහට මෙවර ඉහල ජනතා ආකර්ෂණයක් පැවතින

ශ්‍රී ලංකාවේ 15 වැනි පාර්ලිමේන්තුව සඳහා ලබන සඳුදා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අවසන් වෙයි.

පසුගිය මැතිවරණ වලදී විපක්ෂනායක ලෙස තරග කළ අවස්ථාවේ මෙන් නොව අගමැති රනිල් වික්‍රමසිංහට මෙවර ඉහල ජනතා ආකර්ෂණයක් පවතින බවයි, එක්සත් ජාතික පක්ෂයේ රැළි කිහිපයක්ම වාර්තා කළ බීබීසී යට දැකගන්නට ලැබුණේ.

රටේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගනිමින් හිටපු රජයේ වැරදි හෙලිකිරීමත් මැතිවරණ ව්‍යාපාරය තුළ අගමැතිවරයාගේ ප්‍රධානම කාර්යභාරය වී තිබිණ.

උද්දාමයෙන්

විශේෂයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග එක්ව වැඩ කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවට මතයක් සමාජ ගත කිරීමේ උත්සාහය අගමැතිවරයා මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම කටයුතු කළ ආකාරය දක්නට ලැබිණි.

මැතිවරණ රැළි වලට පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් අන් කවරදාකටත් වඩා උද්දාමයෙන් සිටි ආකාරයද දක්නට ලැබුණි. තම ජයග්‍රහණය ස්ථිර බව බීබීසී යට කතා කළ ඒ බොහෝ දෙනා පැවසූහ.

Image copyright bbc
Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආගමනයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයටද ජනතාව ආකර්ෂණය වූහ

පසුගිය ජනාධිපතිවරණය පරාජය වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආගමනයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයටද ජනතාව ආකර්ෂණය වූහ.

හිටපු ජනාධිපතිවරයා පැමිණෙන රැළි වලට විශාල වශයෙන් ජනතා සහභාගිත්වයක් තිබුණත් සමස්තයක් ලෙස පසුගිය ජනාධිපතිවරණ සමග ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සැසදීමේදී යම් පසුබෑමක් දක්නට ලැබිණ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සහභාගිවූ රැළි වලදී ඔහු කෙරෙහි දැඩි ජනතා ආකර්ෂණයක් පැවතින.

ඊයේ හෝමාගමදී පැවති මැතිවරණ රැලියේදී මෙන්ම රට පුරා පැවැත්වුන ජනහමු මාලාව පුරාම හිටපු ජනාධිපතිවරයා සිය අවධනය යොමුකළේ රටේ ජාතික ආරක්ෂාව ගැන බියක් සමාජ ගත කිරීමටයි.

යුද ජයග්‍රහණය

කොටි ත්‍රස්තවාදීන් නැවත සංවිධානය වන බවත් එක්සත් ජාතික පක්ෂය රට බෙදීමට සුදානම් වන බවටත්, එක්සත් ජාතික පක්ෂය රටේ සංවර්ධන නතර කර ඇති බවටත් මැතිවරණ වේදිකාවේ ඔහු නිරන්තරයෙන් අදහස් පළ කළේය.

Image copyright JVP
Image caption ජවිපෙ ජන රැළි සදහා එක්ව සිටි අති විශාල පිරිසගේ අරමුණ වූයේ පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ කතාවට සවන් දීමයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයන් බහුතරයක් බීබීසී යට අදහස් දක්වමින් කියා සිටියේ දිනාගත් යුද ජයග්‍රහණය අනතුරේ නිසා නැවත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආ යුතු බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණත් මෙවර අන් කවරදාටත් වඩා සැලසුම් සහගත මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටිනු දක්නට ලැබිණ.

ප්‍රධාන නගරවල ඔවුන්ගේ ජන රැළි සදහා අති විශාල ජනකායක් එක්ව සිටි අතර ඉන් බොහෝ දෙනාගේ අරමුණ වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ කතාවට සවන් දිමයි.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් කොටස් මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපතිවරයා අතහැර ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවට ජනතාව අතර මතයක් ගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රබල විපක්ෂයක් බිහිකිරීම සදහා තමන්ට ඡන්දය දෙන ලෙසයි.

ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකම එක ලෙස විවේචනය කරනුද දක්නට ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණට අමතරව මෙවර උතුරේ දෙමල සන්ධානයද සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනාගන්නා ආකාරයක් දක්නට ලැබෙන බවයි උතුරේ වාර්තාකරුවන් පවසන්නේ.