මහ ලේකම් ඉවත් කිරීම වලංගු නැහැ -දිනේෂ්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විධායක කාරක සභාවේ අනුමැතියකින් තොරව සන්ධානයේ මහ ලේකම්වරයා ඉවත් කිරීම වලංගු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පවසයි.

මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාව තුළ මෙවැනි තනතුරු වෙනසක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ද මීට පෙර කිහිප වතාවක් පවසා ඇති බවයි හිටපු අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේ.

ව්‍යවස්ථාව

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයට ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව තමයි ලේකම්වරයා පත් කරන්නේ. විධායක කාරක සභා රැස්වීමකදී තමයි ලේකම්වරයා පත් කිරීම සහ ඉවත් කිරීම සිදු වෙන්නේ.’ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්ත ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් නිකුත් වීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින්.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා දුමින්ද දිසානායක ඇමතීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

අධිකරණ නියෝගයකට අභියෝග කිරීමේ හැකියාවක් ඇත්දැයි බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් සන්ධානයේ උප සභාපතිවරයා කියා සිටියේ එවැනි තීන්දුවක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නිවේදනය කර ඇති බවයි.

ජනාධිපති

මෙම තනතුරුවලට වෙනත් අය පත් කර ඇති බවට මේ වන තෙක් සන්ධානයේ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිදු දැන්වීමක් සිදු කර නොමැති බවද හිටපු ඇමතිවරයා පැවසීය.

සන්ධානයේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ එම පක්ෂයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා කියා සිටියේ අනුර ප්‍රියදර්ශන යාපා තවමත් තම පක්ෂයේ මහලේකම්වරයා බවයි.