දේශපාලන විසඳුමක් හොයන වන්නි වැසියෝ

Image copyright Gathare Gamage
Image caption අළුත් බලාපොරොත්තු (සංරක්ෂිත සේයා රූ )

දෙමළ ජනතාව වර්තමානයේදී වෙනම රටක් ඉල්ලා නොසිටියත්,මෙවර ඡන්දය දීමෙන් බලාපොරොත්තු වන්නේ ඒකීය රටක් තුළ බලය විමධ්‍යගත කෙරෙන දේශපාලන විසදුමක් හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම යැයි වන්නියේ දෙමළ ඡන්දදායකයින්ගෙන් බහුතරයක් දෙනා බී.බී.සී.සන්දේශයට පැවසූහ.

වන්නියේ දෙමළ ජනතාව මෙවර මහමැතිවරණයේදී ඡන්දයදීමෙන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි විමසා බැලීමට බී.බී.සී.සන්දේශය වන්නියේ දෙමළ ඡන්දදායකයින් හමුවූ අවස්ථාවේදී ඔවුන් මේ බව පැවසුහ.

තමන් ජීවත් වන්නේ දෙමළ පළාතක බැවින් මේ අවස්ථාවේදී දෙමළ නායකයින් පිරිසක් පාර්ලිමේන්තුවට යවා ඔවුන් හරහා දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම තම අපේක්ෂාව බවද ඔවුන් කියා සිටි අතර සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාවට සාමයෙන්,සමගියෙන් හා සහෝදරත්වයෙන් යුතුව ජීවත් වීමට හැකි රටක් ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බවද වන්නියේ වැසියෝ ප්‍රකාශ කළහ.

ජාතික ප්‍රශ්නයට විසඳුම

Image caption උතුරු කරේ ප්‍රාර්තනා- (සංරක්ෂිත සේයා රූ)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් හමුවේ දෙමළ වැසියන්ට සහන සැලසීමක් හා ජාතික ප්‍රශ්නයට විසදුමක් ලැබෙන බවට යම් විශ්වාසයක් ඇත්දැයි වන්නියේ දෙමළ ඡන්දදායකයින්ගෙන් විමසූ අවස්ථාවේදී බොහෝ දෙනෙකු කියා සිටියේ දැනටමත් ඔහු විසින් දෙමළ ජනයාගේ යහපත වෙණුවෙන් යම් යම් දේ ඉටුකොට ඇති බැවින් දෙමළ ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය හැකි බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමටත්,ජාතික ප්‍රශ්නය විසදීමටත් කැමැත්තක් දක්වන නමුත් රටේ සිංහල බෞද්ධ බලවේග විසින් එය ඉටුකිරීමට ඉඩ නොතබන බව විශ්වාස කරණ පිරිස්ද අපට මෙම සංචාරයේදී හමු වුණි.ඔවුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂගේ රජයක් පැමිණියද මේ තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන වගයි.

අපේක්ෂා බිදවැටීම

Image caption යුද්ධයේ ප්‍රතිපල -(සංරක්ෂිත සේයා රූ)

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හා නායකයින් රජයවල් සමග සාකච්ඡා කොට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාගැනීමට උත්සහ කළත් පාලකයින් ඔවුන්ව රවටවන බැවින් දෙමළ ජාතික සන්ධානය විශාල රැවටීමකට එදා සිටම ලක්වූ බවද වන්නියේ දෙමළ ඡන්දදායකයෝ පැවසූහ.දෙමළ ජාතික සන්ධානයේ නායකයින් රැවටීම සමස්ත දෙමළ ජනතාවගේම අපේක්ෂා බිදවැටීමකට හේතුවක් වන බවද ඔවුන් කියා සිටියා.

නමුත් මෙවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බහුතර බලයක් හිමි වුවහොත් ජාතික ප්‍රශ්නයට යම් විසදුමක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය මත තම ඡන්දය ලබාදෙන වග විශාල පිරිසක් කියා සිටියහ.

මහින්ද රාජපක්ෂ

Image caption ගැටළු මැද යන ගමන - (සංරක්ෂිත සේයා රූ)

යම් හෙයකින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රජයක් බිහිවුවහොත් තත්ත්වය කුමක්දැයි විමසූවිට වන්නියේ ඡන්දදායකයින්ගෙන් වැඩි පිරිසක් කියා සිටියේ ඔහුට බලයට පත්වීමට ඇති ඉඩකඩ ඉතාම සීමා සහිත බවයි.එය එසේ නොවේවායි ප්‍රාර්ථනා කළ ඡන්දදායකයින් විශාල පිරිසක්ද අපට මෙහිදී හමු වුණි.

යුද්ධය හමාර කොට දෙමළ වැසියන්ට මෙන්ම රටවැසියන්ට නිදහස ලබාදීම මත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය ලබාදීමේ යම් සාධාරණයක් ඇතත් යුද්ධයෙන් පසුව ගෙවුණු කාලය තුළ එතුමා දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසදීමට ක්‍රියා නොකළ නිසා ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව වන්නියේ ඡන්දදායකයින්ගේ අදහසයි.

දැඩි ජාතිවාදී ස්වරූපයකින් කටයුතු කරණ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාගැනීම අසීරු බවට විශාල පිරිසක් අදහස් දක්වද්දී ඔහු යුද්ධය හමාර කළා සේම ජාතික ප්‍රශ්නයටද යම් විසදුමක් ලබාදෙනු ඇතැයි යන විශ්වාසයෙන් කතා කළ පිරිස්ද අපට වන්නියේදී හමු වුණි.