ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දවල් කෑම පොලිසියෙන්, රෑ කෑම රිමාන්ඩ් එකෙන්’

මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා තදින්ම ක්‍රියා කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඇති සුදානම පිළිබඳව බිබිසි සිංහල සේවය සමග කෙටි සංවාදයක යෙදෙමින් මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේ බරපතල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙවර මැතිවරණයේදී සිදු වනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි.

"ජන්ද පෙට්ටි පැහැර ගන්න අවොත්, මම දන්නවා එන්නේ නැහැ මොකද දන්නවා පොලිස් නිලධාරීන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව"

"සුළු වැරදි වලට නම් අපි ලොකු දඬුවම් දෙන්නේ නැහැ, දවල් කෑම පොලිසියෙන් ගන්න පුළුවන් රෑ කෑම රිමාන්ඩ් එකෙන් ගන්න පුළුවන්" මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසීය.

Image copyright AP

ආගමික සිද්ධස්ථාන යොදා ගනිමින් ඇතැම් අපේක්ෂකයන් තවමත් මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බවට පැමිණිලි ලැබී ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා ඒවා වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.

"ඒවා වළක්වන්න අපි ක්‍රියාකරනවා, අපිට තියෙන මුලික ප්‍රශ්නේ තමයි සියළු දේ එකවර නවත්වන්න බැහැ, අපිට ප්‍රාතිහාර්‍ය පාන්න බැහැ, මේ තත්වයෙන් සතුටු වෙනවා කරන්න පුළුවන් දේ ගැන"

Image copyright Getty

සමාජ මාධ්‍යවල හා අන්තර්ජාලයේ මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන දේශපාලන අපේක්ෂකයන් හා වෙබ් අඩවි සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිකාර ඒකකය සමග එක්ව ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

මැතිවරණ ප්‍රතිඵල ලබා දීම ජනාධිපතිවරණයට වඩා කල් ගත වන බවත් දිස්ත්‍රික් ප්‍රතිඵල සියල්ල 18 වැනිදා දහවල් 12 වන විටත් දීමට හැකිවේ දැයි කිව නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

කොළඹ හා ගම්පහ වැනි විශාල දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල දෙන විට 18 වැනිදා මධ්‍යම රාත්‍රියවත් වනු ඇති බව ඔහු පවසයි.