ඡන්ද දායකයන්ට කන්න බොන්න දෙන්නේ බලාගෙනයි!

Image copyright Pic. Wasantha Chandrapala

මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද දායකයන් ඡන්ද පොළට ළගා වන්නට පෙර, ආහාර පාන ආදියෙන් සංග්‍රහ කර ඔවුන්ගේ මතය වෙනස් කිරීමට යම් පිරිසක් උත්සාහ ගතහොත් එවැන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා පවසයි.

මෙවැනි ක්‍රියාවක් බරපතළ ගණයේ මැතිවරණ දූෂණයක් බව පෙන්වා දෙන රත්නපුර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී සුනිල් කන්නන්ගර පවසන්නේ එවැන්නක් ඔප්පු වීම මහජන මන්ත්‍රී ධූරයක් අහිමි වීමට පවා ප්‍රමාණවත් බවයි.

Image caption පුත්තලම

ගණන් කිරීමේ මධ්‍යස්ථාන හැත්තෑ එකකින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හයසිය විසි හතරක් වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය අද පෙරවරු හතට ආරම්භ වූ බවයි අජිත් ලාල් ශාන්ත උදය වාර්තා කරන්නේ.

Image caption රත්නපුර

අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 463 ක් සඳහා ඡන්ද පෙට්ටි යැවීම අම්පාරේ හාඩි ආයතනයේදී ඇරඹුණු බවයි වසන්ත චන්ද්‍රපාල පවසන්නේ.

පුත්තලමේ දූපත්වාසීන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මොහොට්ටුවාරම දුපතේ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න කියා සිටියේ.

Image caption අම්පාර

අවතැන් වුවන් සඳහා මෙවර ඡන්ද මධ්‍යස්ථාන 17 ක් පිහිටුවා තිබීම ද විශේෂත්වයක් බව ඔහු පැවසීය.

Image caption පුත්තලම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු වන ආකාරය වාර්තා කළ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 09 ට පමණ හම්බන්තොට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන සුචි ජාතික පාසලෙන් ආරම්භ කෙරුණු බවයි.

Image caption හම්බන්තොට

මෙහිදී ඡන්ද පෙට්ටි රැගත් වාහන සදහා පිටවීමේ අවසර බලපත්‍රයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබුනත් ඡන්ද පෙට්ටි රැගත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ( SPO ) ගමන් ගත් බොහෝ වහාන සදහා එම පිටවීමේ අවසර පත්‍රය රැගෙන නොපැමිණීම හේතුවෙන් ඡන්ද පෙට්ටි රැගත් වාහන පිට කිරීම පැයකට අධික කාලයක් ප්‍රමාද විය.

තංගල්ල, මුල්ගිරිගල, බෙලිඅත්ත, තිස්සමහාරාමය යන මැතිවරණ කොට්ඨාශ හතරේ ඡන්ද මධ්‍යස්ථාන 411ක් පිහිටුවා ඇත.

Image caption හම්බන්තොට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 12 ක හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරිම් භාර නිළධාරී ආර්.සී.ද සොයිසා පවසයි.