ජයග්‍රහණය නිහතමානීව පිළිගන්නවා - කරු

Image copyright Getty
Image caption 'ජාතික සමගිය ගොඩ නගා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කැප වෙනවා'

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් වී නැති මුත් එක්සත් ජාතික පක්ෂයට 105 ත් 107 ත් ආසන සංඛ්‍යාවක් හිමි වනු ඇති බව අමාත්‍ය කරු ජයසූරිය පවසයි.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රායට අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ සියලු පිරිස් එකතු කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදහස් කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා ඒ අනුව ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වනු ඇති බවයි කියා සිටියේ.

ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ඉදිරි මාස හැට තුළ රටේ විශාල වෙනසක් ඇති කරන බව අමාත්‍යවරයා පැවසුවේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

රටේ ජාතික සමගිය ගොඩ නගා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන පෙරමුණ කැප වන බවත් ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය අගමැති?

පසුගිය ජනවාරි 8 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙරෙහි තැබූ විශ්වාසය මෙවර මහ මැතිවරණයේදීත් එලෙසම ලබා දීම පිළිබඳ ජනතාවට ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව අගමැතිවරයා වශයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද දිවුරුම් දීමට නියමිත බවට අමාත්‍ය ජෝන් අමරතුංග කර තිබෙන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍ය කරු ජයසූරිය කියා සිටියේ තවම එවැනි සූදානමක් නැති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයද සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී නියෝජ්‍ය අගමැති පදවියක්ද ඇති කරන්නේ දැයි කළ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, එවැන්නක් පිළිබඳවත් තවම අවධානය පළ වී නොමැති බව පැවසීය.

එවැනි පදවියක් ඇති කරන්නේ නම් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා නව පදවියට පත් කිරීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බවත් සංදේශයට වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී සිටින නමුත්, මෙය එජාපයේ සුවිශේෂී ජයග්‍රහණයක් නොවන බව ඇතැම් විවේචකයන්ගේ මතයයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ජනකොටස් වෙත සමීප වීමට මෙවරත් එජාපය සමත් වී නැති බව ඔවුන්ගේ විග්‍රහයයි.