ජවිපෙ: අපේක්ෂා සහ මැතිවරණ ප්‍රතිඵලය

Image copyright Getty

මහ මැතිවරණයේ මේ දක්වා නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල සලකා බැලීමේදී බලාපොරොත්තු වූ මට්ටමට ළඟා වීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වීදැයි යන්න ප්‍රශ්නයක්.

අවසන් ප්‍රතිඵලයට අනුව ජනතා විමුක්ති පෙරමුණ දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ආසන හයක් පමණි.

මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය පාර්ලිමේන්තු අසුන ආරක්ෂා කරගැනීමට සමත් වී නැත.

වසන්ත සමරසිංහ සහ සමන්ත විද්‍යාරත්න යන පළාත් සභා මන්ත්‍රීවරු පිළිවෙලින් අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර එම දිස්ත්‍රික්ක වලින් එකම ආසනයක් හෝ දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි වී තිබේ.

ජවිපෙට ගාල්ල දිස්ත්‍රික්කය තුළත් ආසනයක් හිමි වී නොමැති අතර එම දිස්ත්‍රික්කය සඳහා නලීන් හේවගේ ජවිපෙන් තරඟ කළේය.

ජනවාරි මස පැවති ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ සිදු වූවා යැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් හඬ නැගූ පිරිස් අතර ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන්ම සිටියේය.

පැවති රජයේ සිටි ඉහළ පෙළ පුද්ගලයන්ට එරෙහිව දූෂණ හෝ අල්ලස් කොමිසමට ගිය ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට එරෙහිව පැමිණිලි ගණනාවක් ගොනු කළේය.

මැද පන්තිය හා සමාජ වෙබ් අඩවි

Image copyright dinamina.lk
Image caption මහ මැතිවරණය වෙනුවෙන් නුගේගොඩ නගරයේ පැවති ජවිපෙ රැළියක්

ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාව නියෝජනය කළ නමුත් ඔවුන් දිගින් දිගටම කියා සිටියේ රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ජනතාව බලාපොරොත්තු වන වෙනස ලබා දිය නොහැකි බවයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කොට දින කිහිපයක් ගත වෙත්ම යහපාලනය වෙනුවෙන් හඬ නැගූ කලාකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රැසක් ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ගොඩ වූහ.

විපක්ෂය නියෝජනය කළ යුත්තේ ජවිපෙ බව ඔවුහු ප්‍රසිද්ධියේ කියා සිටියහ.

විශේෂයෙන් සාමාන්‍ය මැද පන්තියේ ඡන්ද දායකයෝ ජවිපෙ දෙසට යම් කිසි නැඹුරුවක් දක්වන බවකුයි පෙනෙන්නට තිබුණේ.

Image copyright bbc

ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී හඬ සමාජ වෙබ් ජාල තුළ වැඩි වශයෙන් දක්නට ලැබිණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සමගින් අස්ගිරි මහනාහිමි හමුවට ගිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එහිමියන් කියා තිබුණේ ආණ්ඩුවට නිසි මඟ පෙන්වීම සඳහා ජවිපෙ බහුතරයක් විපක්ෂයේ සිටිය යුතු බවයි.

දේශපාලන විශ්ලේෂණ වාර්තා බොහොමයක සඳහන් වූයේ ජනතා විමුක්ති පෙරමුණ 15ත් 10ත් අතර ආසන සංඛ්‍යාවක් ගනු ඇති බවයි.