සම්මුතිවාදී ආණ්ඩුවකට ආරාධනා-රනිල්

ranil wickramsinha Image copyright AFP

ජනවාරි අටවෙනිදා ලැබූ ජයග්‍රහණයන් ඉදිරියට ගෙන යෑම සඳහා එක මවක ගේ දරු කැලක් ලෙසින් නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ කාර්යට එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘දැන් ජයග්‍රාහකයින් සහ පරාජිතයින් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය’ යැයි රනිල් වික්‍රමසිංහ කියා සිටී.

නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිවූ යහපත් පරිසරය රැකගැනීමට කටයුතු කිරීම හැම දෙනාගේම වගකීම බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කොට සිටී.

මැතිවරණ ප්‍රචාරණ සමයේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි.එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට ගිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තම දේශපාලන උපදේශකයින් සහ ප්‍රධාන පෙළේ නායකයින් සමඟ පවතින තත්ත්වය සමාලෝචනය කරමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ලේකම් සමන් අතාවුදහෙට්ටි සංදේශයට පැවසීය.

අළුත් අගමැතිවරයා දිව්රුම්දීමට පෙර අවසන් ප්‍රතිඵලය නිකුත් විය යුතුව ඇත.

Image caption සිරිකොතට එන රනිල් වික්‍රමසිංහ

අද අඟහරුවාදා පස්වරුව වන විට පක්ෂ නායක රැස්වීම කැඳවා අවසන් ප්‍රතිපල නිකුත් කිරීමට ඉඩ තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ තමන් පරාජය පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ නොකළ බව ඔහු ගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටිතත් තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කතා කළ විට ‘ අපි දැන් පැරදිලා දැන් ඉතින් වැඩක් නැහැ’ යනුවෙන් ඔහු පැවසූ බව ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානි අමල් ජයසිංහ කියා සිටියේය.