නව ආණ්ඩුවට TNA සහයෝගය - සම්බන්ධන්

මේ වසරේ ජනවාරි අට වැනිදා ජනතාව විසින් හිටපු ජනාධිපති ඉවත් කොට නව ජනාධිපති වරයෙකු පත් කළේ නිසි ආණ්ඩුවක් පිහිටුවීමට බැවින් සිය පක්ෂය අලුත් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ.

ඔහු ඒ බව පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ එකමුතුව එක් ආණ්ඩුවක් පිහිටුවීමට සැමට කර ඇති ආරාධනාව පිළිගෙන අලුත් ආණ්ඩුව සමග එක්වන්නේදැයි සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Image copyright AFP

'නව ආණ්ඩුවට සහයෝගය දෙනවා'

ජනතාව තවත් වතාවක් තම පක්ෂයට බලය ලබා දී ඇති බවත් එමගින් ජනතාව සිය පක්ෂය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ආර්. සම්බන්ධන් වැඩි දුරටත් කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජනතා තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සිය පක්ෂය නව ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති නමුත් නව ආණ්ඩුවේ ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි පවසන්නේ.