දිගටම දේශපාලනයේ රැදී සිටිමි - මහින්ද

Image copyright Mahinda Rajapaksha

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අසුන් ගෙන දිගටම දේශපාලනයේ රැදී සිටීමට බලාපොරොත්තු වන බව පවසයි.

ඔහු මේ බව කියා සිටියේ 2015 මහ මැතිවරණයෙන් අභියෝග මැද්දේ ලද ඡන්ද ප්‍රතිපල නිහතමානීව පිළිගන්නා බව ප්‍රකාශ කරමින් නිකුත් කළ නිවේදනය මගිනි.

මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේ රට ජාතිය වෙනුවෙන් තමන් කළ සේවය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකාවේ අගමැති වරයා ලෙස බලයට පත් වීමට 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානයට ලක් විය.

Image copyright Getty

පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එල්ල වූ දුෂණ සහ වංචා චෝදනා වලට මුහුණ දෙමින් නැවතත් මැතිවරණයකට පැමිණීම ශ්‍රී ලංකාවේ මැතිවරණ උණුසුම වැඩි කිරීමට බලපෑ සාධකයක් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් කුරුනාගලදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් ලබා ගත් මනාප ප්‍රතිශතයෙන් 89%ක් හිමි කර දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි විය.

ඔහු සිය නිවේදනයෙන් මැතිවරණයේදී සිය පක්ෂයට ඡන්දය ලබා දුන් සියලු දෙනාටත් මැතිවරණ ප්‍රචාරණයට මහන්සි වී සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් ස්තූතිය ප්‍රකාශ කළේය.