ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සම්මුතිවාදී දේශපාලනයේදී 'කැපකිරීම් අවශ්‍යයි'

සම්මුතිවාදී දේශපාලනයක නිරත වන විට කැප කිරීම් අත්‍යවශ්‍ය සාධකයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පවසයි.

"විපක්ෂය අවංක නම් ඕනම කැපකිරීමක් කරන්න අපි කැමතියි," කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතියකින් කටයුතු කිරීමට එකඟවීම රටට විශාල ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව බීබීසී යේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Image copyright

"අපි දිනුව කියල අපි අපේ ඔලු නරක් කරගන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය බොහොම නිහතමානීව මේ ජයග්‍රහණය භාරගන්නවා."

අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වීම සුභ ලකුණක් ලෙස දකින බවද පාලක එජාපයේ මහ ලේකම්වරයා පවසයි.

"හිටපු ජනාධිපතිතුමාගේ පැමිණීම ඇත්තටම සුභ ලකුණක්. ඒකෙන් දෙනවා අපි අපේ වෙනස්කම් අමතක කරලා එකට වැඩකරන්න ඕනේ කියලා කියන සංඥාව," කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.

"ඒක හිතෙන්ම කරනව නම්, අවංකවම කරනවා නම් ඒක තමයි රටට ඕනේ."

තම පක්ෂයට බහුතර බලය තිබුණත් රටේ අභිවෘද්ධිය උදෙසා වසර දෙකක්වත් එක්ව වැඩකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළ ආරාධනාව ඔවුන් පිළිගෙන තිබෙන බව පැවසූ කබීර් හෂීම් මහලේකම්වරයා ඒ අනුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවද පැවසීය.