එක්නැලිගොඩ පරීක්ෂණය: හමුදාවේ හතරක් අත්අඩංගුවට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ලුතිනන් කර්නල් නිලය දරන දෙදෙනකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ හමුදා කෝප්‍රල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශක සාමාන්‍ය පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සංදේශයට කියා සිටියේ.

‘මේ සිව් දෙනාගෙන් අද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබුනා. ඉන් අනතුරුව මෙම සිව් දෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා’ ඔහු සඳහන් කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‘ඒ තිදෙනාගෙන් එක් අයෙක් විශ්‍රාමික හමුදා සැරයන්වරයෙක්, අනෙක් දෙදෙනා පුනරුත්තාපනය වූ එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙක්’ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.