ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංගක්කාර මහ කොමසාරිස් ධුරය භාර ගනීද?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාර ගැනීමේ ආරාධනාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කුමාර් සංගක්කාර පවසයි.

‘මම අතිගරු ජනාධිපතිතුමාගේ ඒ ඉල්ලීමට ගරු කරනවා. මේ දේ තවදුරටත් සාකච්ඡා කරන්න ඕනි. මොකද මම තාම ඒ අතින් ගත්තතහම අත්දැකීම් හරිම අඩුයි. ඒකට විශේෂිත වූ දැනුමක් තියෙන්නත් ඕනි’ ක්‍රිකට් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර එසේ කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ක්‍රීඩාවෙන් සමු ගැනීම සම්බන්ධයෙන් කනගාටුවක් දැනෙන නමුත් ක්‍රීඩාව තුළ දැරීමට සිදු වන මහන්සිය, කැපවීම සහ පීඩනය තවදුරටත් දැරීමට අවශ්‍ය නොවීම පිළිබඳ යම් කිසි සැහැල්ලුවක් දැනෙන බවත් ඔහු පැවසීය.

‘ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා බලා ඉන්න එකත් ලේසි නැහැ. ඒ ආසාව තාම තියනවා. ඒ දේට පුරුදු වෙන්න ඕනි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගියාට පස්සේ මම හිතන්නේ ක්‍රීඩාව මත්තෙම නැහෙන්නේ නැතුව අපි සංතෝසෙන් බලන්න, අගය කරන්න, දැන් ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයන් අගය කරන්න තමයි මගේ බලාපොරොත්තුව’ සුපරි ක්‍රීඩකයා වැඩිදුරටත් කියා සිටියේය.

ආරාධනාවක්

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම වෙනුවෙන් සඳුදා පෙරවරුවේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම විශේෂයකි.

ජනාධිපතිවරයාට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් ද සහභාගී විය.

මේ අතර පසුගියදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී බීබීසී සංදේශය වෙනුවෙන් උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කුමාර් සංගක්කාර කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති බවයි.