අතුරුදහන් වූවන් ගැන මඩකලපුවේ දුක්ගැනවිලි

යුධ ගැටුම් අතරතුර නැගෙනහිර පළාතේ සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ මඩකලපු දිස්ත්‍රික්කය සඳහා වූ තුන් වන අදියරේ පරීක්ෂණ ආරම්භ වෙයි.

කොමිසමේ විමර්ශන කටයුතු පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අතර අඟහරුවාදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දහසකට වැඩි පිරිසක් විමර්ශන කටයුතු සඳහා කැඳවා තිබෙන අතර බොහෝ දෙනෙක් සිය ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ සිටියහ.

එල්ටීටීඊය, ශ්‍රී ලංකා හමුදාව, සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් හා නාදුනන පිරිස් විසින් අතුරුදහන් වීම් සිදු කොට ඇති බවයි ප්‍රකාශ ලබා දීමට පැමිණි ඥාතීන් කියා සිටියේ.

තවමත් තම දරුවන් ජීවතුන් අතර සිටින බවට ඥාතීහු බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.

ඒ අතර සිටින බොහොමයක් ඥාතීන් අතුරුදහන් වීම් සිදු කරනු ලැබූ පිරිස් පිළිබඳ තොරතුරු දැන සිටින නමුත් තම ජීවිතවලට තර්ජන ඇති වෙතැයි යන බිය හේතුවෙන් නිශ්ශබ්දව සිටින බවක් පෙනී යයි.

'බලාපොරොත්තුවක්'

කලවංචිකුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පෙරියතම්බි දෙවපෝඩි සිය තිස් දෙහැවිරිදි පුතු සශිධරන් අතුරුදහන් වූ ආකාරය කොමිසම හමුවේ පැහැදිලි කළේය.

'මගේ පුතා කාර්මික නිලධාරි පත්වීමක් ලබලා මුලතිවි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිටිය දී එල්ටීටීයේ අය ඔහු සිර භාරයට ගත් බව දින 10 කට පසුව දැන ගත්තා. ප්‍රාදේශීය ලේකම්වරයා කිව්වා පුතාව ඔවුන් නිදහස් කරයි කියලා. ඒ කාලේ මුලතිවි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී සිටිය කනගරත්නම් සමග මම මේ සම්බන්ධයෙන් කතා කලා. පුතාව නිදහස් කල බව දැන ගන්න ලැබුණා. මඩකලපුවේ කෙනෙකු නිසා ප්‍රාදේශීය ලේකම් විසින් පුතාව බාර ගැනීම ප්‍රතික්ෂේප කල බවත් දැන ගන්නට ලැබුණා. නැවත පුතා සිර භාරයට පත් වුනා.පසුව යුධ ගැටුමක දී කිෆීර් ප්‍රහාරයක් නිසා එල්ටීටීයේ සිර කඳවුරක් විවෘත කලා. ඒ වෙලාවේ හිරේ සිටිය අය යන්නට ඇති යුද හමුදාව ඉන්න පැත්තට. අපහු ඔවුන් එල්ටීටීය පැත්තට යන්නේ නැහැනේ' පෙරියතම්බි කොමිසම හමුවේ කියා සිටියේය.

'බියක්'

පාසල් යෑමට සුදානම් වී සිටි තම දාසය හැවිරිදි පුතු හමුදා වැටලීමකින් පසු රැගෙන ගිය බවයි තුරෙයිනීලාවනේ පදිංචි වල්ලිපිල්ලේ පැවසුවේ. එම වැටලීම සිදු වූ 1990 වසරේ සිට තම පුතු ගැන තොරතුරක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

'දෙදාස් අටේ අගෝස්තු විසි නව වෙනිදා රෑ 8.30 ට විතර 4 දෙනෙක් සිවිල් ඇඳුමෙන් වාහන දෙකක ඇවිත් මගේ පුතාව හෙව්වා. මගේ පුතා දරුවෝ දෙන්නෙකුගේ පුතෙක්. පේන්ට් කරන ඒක තමයි රැකියාව වශයෙන් කළේ. කටාර් රැකියාවට ගිහින් ඇවිත් හිටියේ.ඒ වෙලාවේ ඔහු ගේ ඇතුළේ හිටියා. ආපු අය වැටෙන් පැනල දොර කඩල ඇතුන් වෙලා පුතාගේ වයස එකහමාරක් දරුවාව මරණ බව තර්ජනය කරලා පුතාව අරන් ගියා. ආපු අය ඒ කාලේ රජය සමග කටයුතු කල සන්නද්ධ කණ්ඩායමක අය .දෙමළ අයව පැහැර ගෙන ගොස් රඳවා ගෙන කෝටි 2 ,කෝටි 3 කප්පන් ඉල්ලු අය. ඒ අය කව්ද කියා රජය වුනත් දන්නවා. දැනුත් ඒ අය ඉන්නවා. කිව්වොත් අපේ ජීවිතයට සහතික නැහැ' පියකු වන පොන්නයියා කනපතිපිල්ලේ පැවසුවේය.