ටීඑන්ඒ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් අර්බුද

Image caption සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ සම්බන්ධන්

දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වුවමනාවට අනුව යමින් ඔවුන්ගේ කැමැත්තට පමණක් සීමා වීම තමන් අනුමත නොකරණ බවත් එය ප්‍රතික්ෂේප කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මහමැතිවරණයට පෙර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවලදී තීරණය කරණ ලද්දේ පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් පසුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කළ යුතු බවට වුවත් මැතිවරණයෙන් පසු කිසිදු සාකච්ඡාවකින් තොරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට වුවමනා අන්දමට මන්ත්‍රීවරුන් පත්කොට ඇති බව පවසන මන්ත්‍රී වරයා එය දෙමළ ජාතික සන්ධානයේ පොදු එකගතාවයට අනුකූල නොවන බවත් කියා සිටියි.

දේශපාලන සදාචාරය

Image caption දෙමළ ජාතික සන්ධානයේ නායක සාකච්ඡාවක්

තමන් මෙවර මහමැතිවරණයෙන් පරාජය වුවත් තවමත් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායකයා හැටියට කටයුතු කරන හෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය පිළිබඳව තමාගෙන්ද විමසීමේ සදාචාරාත්මක අයිතියක් තිබුණු බවද ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායකයා පවසන්නේ.

දෙමළ ජාතික සන්ධානය විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කරණ ලද කේ.තුරෙයිසිංහම් හා ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සමග තමන්ගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නැතත් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායකයා වශයෙන් තමන් ඊට අකැමති බවයි හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් පවසන්නේ.