TNA ජයග්‍රහණය පසුපස ඇති රහස කුමක්ද?

Image copyright AFP

ලංකාවෙහි දේශපාලන සිතියම උතුර සහ දකුණ වශයෙන් වෙනස් පැහැයෙන් සලකුණු කිරීම නිදහසින් පසුව පැවැත එන සම්ප්‍රදායක් බවට පත්ව ඇත.

මෙය ජනවාර්ගික සිතියමත් දේශපාලන සිතියමත් එකක් බවට පත් වීමකි.

ජනවාර්ගික අනන්‍යතා දේශපාලනය අනුමත කරන්නෙකුට එය ස්වාභාවික මෙන්ම සාධනීය ලක්‍ෂණයක් ලෙසින් හැදින්විය හැකි වුවත් සමස්ත දේශපාලනයම තීරණය කරන ප්‍රධාන සාධකය බවට ජන වාර්ගිකත්වය පත් වීම යනු ඇත්තෙන්ම ලංකාවෙහි පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වන දේශපාලන අභිලාෂයන්ගෙන් යුතු අයට මහත් හිසරදයක් ඇති කරන දෙයක් බවට සැකයක් නොමැත.

එහෙයින් උතුර සහ දකුණ වශයෙන් දේශපාලන සංවාදය තුළ නාමකරණයට ලක් වෙන සැබැවින්ම සිංහල සහ දෙමළ වශයෙන් යථාර්ථය තුළ ධ‍්‍රැවීකරණයට ලක්ව ඇති ලාංකේය දේශපාලන සංස්කෘතියෙහි සැළකිය යුතු වෙනසක් මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන්නේද යන්න පිළිබදව අවධානය යොමු කිරීම වැදගත්ය.

දෙමළ දේශපාලනය

මක් නිසා ද යත් අප ජීවත් වන මෙම වකවානුවෙහි මැතිවරණ ක්‍රමය හැර වෙනත් විකල්පයක් සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික ජයග්‍රහණයන් ලබා ගැනීම සදහා නොමැතිය.

Image copyright Saminadan Wimal
Image caption සාමිනාදන් විමල් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ලංකාවෙහි දෙමළ ජාතිකත්වයට අදාල විශාල ජන පිරිසක් භූගෝලීය උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයට බැහැරින් වාසය කළත් ජනවාර්ගික කේන්ද්‍රීය දේශපාලන ශබ්ද කෝෂය තූළ දෙමළ යන්නට උතුරු නැගෙනහිර යන අරුතත් සිංහල යන්න දකුණ යන අරුතත් සපයයි.

එහෙයින් උතුර සහ නැගෙනහිර දෙමළ දේශපාලනය යනුවෙන් පැවසීමේ දි එය දෙමළ දේශපාලනය ලෙසින් හැදින්වෙන්නේ එයට බැහැරින් දෙමළ දේශපාලනයක් ක‍්‍රියාත්මක නොවෙන නිසා නොව සිංහල යන දේශපාලනයට අභියෝගාත්මක දේශපාලනයක් ලෙසින් උතුරු නැගෙනහිර ස්ථාපිත ව පවතින නිසාය.

මෙය නිදහසින් පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වූ දේශපාලන සංස්කෘතියෙහි අනිවාර්ය ප‍්‍රතිඵලයක් ලෙසින් හැදින්විය හැකිය.

එහෙයින් උතුරු නැගෙනහිර දේශපාලන ක්‍රියාකාරිත්වය එහි ප‍්‍රධාන සාධකය වූ දෙමළ ජනයාගේ දේශපාලනය ලෙසින් අර්ථ කථනය කිරීම මෙන්ම අවබෝධ කර ගැනීම මේ වන විට පවතින සම්ප්‍රදාය බවට පත්ව ඇත.

'පාරම්පරික මව්බිම'

උතුරු නැගෙනහිර, දෙමළ ජනයාගේ පාරම්පරික මව්බිමය යන තර්කය තුළින් ඉහළට මතු කෙරෙන මෙම දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රවනතාවයක් වන්නේ උතුර තනිකරම දෙමළ දේශපාලනයට අනුගත ප‍්‍රදේශයක්ව පැවැතිමයි.

එ විට නැගෙනහිර යනු මුළුමනින්ම හුදු දෙමළ ජාතිකත්ව දේශපාලනයෙහි අධිකාරිත්වයට යටත්ව නොපවතින අතර සිංහල සහ දෙමළ දේශපාලනය වශයෙන් ලංකාවෙහි දේශපාලනය ධ‍්‍රැවීකරණයට ලක්ව පවතින්නා සේම නැගෙනහිර දේශපාලනය දෙමළ සහ මුස්ලිම් යනුවෙන් ප්‍රබල ධ‍්‍රැවීකරණයට ලක්ව පවතියි.

දෙමළ දේශපාලන ධාරාවෙයි ප‍්‍රධාන සාධකය ලෙසින් වර්ධනය වී පවතින දෙමළ ජාතික සන්ධානයෙහි උතුරු නැගෙනහිර මහ මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුවට එකම එක මුස්ලිම් අපේක්‍ෂකයෙකුවක් ඇතුළත් නොවීම මෙම තත්ත්වය මැනවින් පැහැදිළි කිරීමට සමත්ය.

එයට සමාන්තරව මුස්ලිම් අනන්‍යතා දේශපාලනය වඩාත් දියුණු වර්ධනයක් පෙන්නුම් කරන අතර තම නියෝජනය මුස්ලිම් යන නාමකරණයෙන් හැදින්වෙන දේශපාලන පක්‍ෂ තුළින් පමණක් වර්ධනය කර ගැනීමට උත්සහ නොකර ජාතික දේශපාලන පක්‍ෂ ලෙසින් හැදින්වෙන සමස්ත ලංකා පදනමක් සහිත දේශපාලන පක්‍ෂ මාර්ගයෙන් ද වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමත් එම උත්සාහයන් ජයග්‍රහණය කර තිබීමත් සැලකිය යුතු ප‍්‍රවනතාවකි.

දෙමළ ජාතික සන්ධානය

කෙසේවුවද මෙහිදී එම කරුණ පිළිබදව අවධානය යොමු නොකර උතුර තුළ මුළුමනින්මත් නැගෙනහිර තුළ සැලකිය යුතු තරමකටත් තම ජයග‍්‍රහණයන් සටහන් කර ඇති දෙමළ දේශපාලනයත් එහි අනාගත ප‍්‍රතිඵලත් පිළිබදව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනයෙහි ප‍්‍රධාන භූමිකාව ඉටු කරන දෙමළ ජාතික සන්ධානය මෙවරත් මහ මැතිවරණයෙන් ලබා ඇත්තේ අතිවිශාල ජයග‍්‍රහණයකි.

2010 වසරෙහි ලබාගත් ජයග‍්‍රහණයට වඩා වැඩි ජයග‍්‍රහණයක් මෙවර උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙන් හිමිකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත්වීම වනාහි වඩාත් වැදගත් වන්නේ දෙමළ ජාතික සන්ධානය තම මැතිවරණ ඉතිහාසයෙහි ඉතාමත් දරුණු අභියෝගයට මුහුණ දීමට මෙවර සිදුවීම මතයි.

අභියෝගය

එම අභියෝගය දෙවැදෑරුම් ලෙසින් තේරුම් ගත හැකිය. පළමුවැන්න උපයෝගිතාවාදි දේශපාලන ධාරාව තුළින් එල්ල විය.

එනම් එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් පෙරමුණ යන පක්‍ෂ විසින් යම් යම් දේ ලබා දී ඡන්දය ලබා ගැනීමට උත්සාහයයි.

දෙමළ ජාතික සන්ධානයට මෙය නව අභියෝගයක් නොවූ අතර එහෙයින් එය ජය ගැනීම අසීරු කරුණක් නොවිය.

ඡන්දදායකයන් දෙන දෙයක් ලබාගෙන තමන්ට ඡන්දය දෙන බව පූර්ව මැතිවරණවලින් දෙමළ ජාතික සන්ධානය උගත් පාඩමක්ව තිබිණ.

ජාතික ප‍්‍රශ්නය යැයි දෙයක් තියෙන තාක් දුරට ඡන්දදායකයන් සිටින්නේ තමන් සමගය යන්න දෙමළ ජාතික සන්ධානය මැනවින් දැන සිටියි.

එහෙයින් උපයෝගිතාවාදි දේශපාලනය තමන්ට කිසිසේත්ම අභියෝගයක් නොවන බව දෙමළ ජාතික සන්ධානය දැන සිටියේය.

මතවාදි අභියෝගය

නමුත් දෙමළ ජාතික සන්ධානයට මෙවර දැඩි අභියෝගයක් එල්ලවූයේ මතවාදිමය අන්තර්ගතයක් සහිත දේශපාලනය තුළින්ය.

සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය නම් වන සාම්ප‍්‍රදායික දෙමළ දේශපාලන පක්‍ෂයෙහි සලකුණ වන පාපැදිය සලකුණෙන් මහමැතිවරණයට ඉදිරි පත්වූ දේශපාලන ප‍්‍රවාහය වෙතින සහ මකුළුවාගේ සලකුණෙන් ඉදිරිපත් වූ හිටපු කොටි ස්වාධීන කණ්ඩායමෙන් දෙමළ ජාතික සන්ධානයට එල්ලවූ අභියෝගය වනාහි මතවාදි දේශපාලන අභියෝගයක් විය.

ගජෙන්ද්‍රකමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය තුළින් සමාජගත කරන ලද මතවාදය අන්ත ජාතිකවාදය ලෙසින් අර්ථකථනය වන අතර වෙනම රාජ්‍යයක් පිළිබද පැන්ටසිමය අදහස් මෙම දේශපාලන ප‍්‍රවාහය තළින් සමාජගත කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයට ද්‍රෝහි ලේබලය අලවමින්ය.

හිටපු කොටි දේශපාලනය

ඩයස්පෝරා දේශපාලන ප‍්‍රවාහයෙහි සමහර කොටස්වල අනුග‍්‍රාහය මෙම දේශපාලන කණ්ඩායමට ප‍්‍රකට ලැබුණු අතර දෙමළ සමාජයෙහි හැඟීම්බරව දේශපාලනයත් ඩයස්පෝරාවෙහි ආඩම්බරකාරි දේශපාලනයත් එකට එක්වූ ලක්‍ෂණ මෙම දේශපාලන ප‍්‍රවනතාවය විසින් පෙන්නුම් කළේය.

නමුත් හිටපු කොටි දේශපාලනය විසින් එල්ලවූ අභියෝගය මෙයට වෙනස් එකක් විය.

ඔවුහු වෙනම රාජ්‍යයක් පිළිබද අදහස කිසිම විටෙක තම මැතිවරණ කටයුතු තුළ දී අවධාරණය නොකළ අතර ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම බවට පත්ව තිබුණේ දෙමළ සමාජයෙහි විමුක්තිය උදෙසා සටන් කළ තමන් අද දෙමළ දේශපාලන ධාරාව විසින් ද සමාජය විසින් ද කොන් කිරීමකට ලක්ව පවතින බවත් නමුත් එම පිරිස් මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් විමුක්ති කොටින්ව භාවිත කරන බවත්ය.

මෙහිදී අවධාරණයට ලක් කෙරුණේ හිටපු කොටි සාමාජිකයන්ගේ අනාගතය පිළිබදව දෙමළ ජාතික සන්ධානය දක්වන නොසැළකිල්ලයි.

මෙය ද යම් තාක් දුරකට දෙමළ සමාජයෙහි සංවේදි පිරිස් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි කලකිරීමක් ඇති කරන්නට සමත් කරුණක් විය.

කෙසේ වුව ද දෙමළ ජාතික සන්ධානයට මෙම දෙවැදෑරුම් අභියෝගයන් ජයග‍්‍රහණය කිරීමට හැකිවිය.

පවතින සමානුපාතික නියෝජන ක‍්‍රමය තුළ පවා එක ද එක ආසනයක් වත් හිමිකර ගැනීමට නොහැකි වන අයුරින් මෙම මතවාදිමය දේශපාලන පසමිතුරන්ව ජයග‍්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකිවිය.

යාපනය දිස්ත‍්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගත් ඊ.පි.ඩි.පි සංවිධානය හැර දෙමළ ජාතික සන්ධානයට යම්තාක් හෝ අභියෝග කළ හැති දේශපාලනයක් උතුර සහ නැගෙනහිර නොමැත.

ප‍්‍රභාකරන්

උතුර තුළ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් පෙරමුණ ආසන දිනා ඇති අතර ජාතික පක්‍ෂවල වර්ධනයක් පෙන්නුම් කළත් එය මුළුමනින්ම පාහේ උපයෝගිතා දේශපාලනය මත රදා පවතින හෙයින් එම දේශපාලනය කිසිසේත්ම දෙමළ ජාතික සන්ධානයෙහි දේශපාලන ව්‍යාපෘතිය කෙරෙහි මතවාදිමය වශයෙන් කිසිදු බලපෑමක් කරන්නට සමත් වන්නේ නැත.

මෙම මැතිවරණයෙහිදී පවා මෙම ජාතික දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයෝ කිසිසේත්ම දෙමළ ජාතිකවාදි දේශපාලනය ප්‍රතික්ෂේප නොකළ අතර එයට වෙනස්ව යමින් තමන්ගේ නායකයා ප‍්‍රභාකරන් යැයි කියා ඡන්දය ඉල්ලා සිටින තත්වයක් පවා දැකිය හැකි විය.

ඒ අනුව දැන් සලකා බැලිය යුත්තේ අතිමහත් දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට තම ඡන්දය භාවිතා කළේ ඇයි ද යන්නත් දෙමළ ජාතික සන්ධානයෙහි මෙම ජයග‍්‍රහණය ඉදිරියෙහිදී ඇති කළ හැකි බලපෑම කමක්ද යන්නත්ය.

දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණයෙහිදී පොරොන්දු දේශපාලනයක නිරත වූවෙහිද? නැත.

දෙමළ සමාජයෙහි අනාගත ප‍්‍රගතිය ඉලක්ක කරගත් ද සමාජ ආර්ථික සහ දේශපාලනික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළෙහිද? නැතහොත් දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගත හැකි අයුරින් අතිවිශාල මුදල් සම්භාරයක් වැය කළේද? නැත.

රහස කුමක්ද?

එසේ නම් මෙම ජයග‍්‍රහණය පිටුපස ඇති රහස කුමක්ද? එය නම් ආරක්‍ෂාව පිළිබද හැඟීමයි. එනම් තම ආරක්‍ෂාව උදෙසා සමගිව ප‍්‍රති පාර්ශ්වයට මුහුණ දිය යුතුය යන අදිටනයි.

මහ ජාතිවාදි පීඩනයෙන් ආරක්‍ෂා වීමට සමගිව මුහුණ දිය යුතුය යන්න මෙයට පූර්වයෙහි පැවැති මැතිවරණ වලදී මෙන්ම මෙම මැතිවරණයෙහිදීද අවධාරණයට ලක් විය.

එයට අනුව මෙම මැතිවරණය තුළ දී උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්දය භාවිත කර ඇත්තේ දකුණට මුහුණ දීම සදහාය.

එයට සමාන්තරව යමින් දකුණේ දේශපාලනය තුළ පවා උතුරට මුහුණ දිය හැකි නායකත්වය පිළිබද අදහස ඉස්මතු විය.

ජාතික ප‍්‍රශ්නය යන්න යතාර්ථයක්ව පවතින තාක් කල් මෙම දේශපාලන ක‍්‍රියාකාරිත්වයෙහි වෙනසක් අපේක්‍ෂා කළ නොහැකිය.

මෙම මැතිවරණයෙහිදී දෙමළ ජාතික සන්ධානයට අන්තවාදි මතවාදය පරාජය කර සම්මුතිකාමි දේශපාලනයක් උදෙසා අවකාශයක් ගොඩ නංවා ගැනීමට හැකිව ඇත.

නමුත් එම අවකාශය යහපතට හරවා ගත හැකි වන්නේ දකුණේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය මතය.

ජාතික ප‍්‍රශ්නය පිළිබද හාංකවිස්සියක් නොමැතිව දස වැදෑරුම් කරුණ මත පදනම්ව ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකින් යුතුව දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂයත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන ඇතත් ඉදිරි කාලය තුළ උතුරේ දේශපාලනය සමගත් කටයුතු කළ හැකි අයුරින් එම අවබෝධතා ගිවිසුම ව්‍යාප්ත කළ හැකි නම් සැලකිය යුතු ප‍්‍රගතියක් ලාංකේය දේශපාලනය තුළ ඇති කළ හැකිය.

ඒ සදහා අවබෝධය මෙන්ම අවශ්‍යතාවය ද අදාල පාර්ශවයන් තුළ තිබිය යුතුය.