දේශීය පරීක්ෂණය ගැන ඇමරිකාවට පැහැදිලි කිරීමක්

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා පැවැත්වීමට යන දේශීය පරීක්ෂණයේ යන්ත්‍රණය පිළිබඳව රජය විසින් එක්සත් ජනපදය දැනුවත් කරනු ලැබ තිබේ.

මෙය සිදු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමු වූ අවස්ථාවේදී යි.

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දින කිහිපයේ දී එළිදක්වන බවට වාර්තා පළ වෙද්දී.

Image copyright AFP
Image caption නිශා බිස්වාල්

ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම සදහා මෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍ය යළි ඇති කර යහපාලනය ඇති කිරීමට නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මෙහිදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දැනුවත් කළ බවයි විදේශ අමාත්‍යවරයා පැවසුවේ.

මෙහිදී අදහස් දැක්වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පැවසුවේ ශ්‍රී ලංකාවේ රජය ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ඇති කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළට ඇමෙරිකාවේ පූර්ණ සහය හිමි වන බවට සහතික කිරීම තම මෙම සංචාරයේ අරමුණ බවයි.

ඩොලර් මිලියනයක ප්‍රතිපාදන

සාම්පූර්හි නැවත පදිංචි කිරීම හා එහි අධ්‍යාපන නගා සිටුවීම සදහා ඩොලර් මිලියනයක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.

දේශීය පරීක්ෂණයක් හරහා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දී තිබුණි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි දිවයිනට පැමිණියේ අද (25) උදෑසනයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහද හමුවීමට නියමිතයි.