අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු

Image copyright defence.lk

අමාත්‍යධුර සංඛ්‍යාව ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමෙන් පසුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වනු ඇති බවට වාර්තා වෙයි.

ලබන මස එනම් සැප්තැම්බර් පළවෙනි දා පාර්ලිමේන්තුව රැස් වෙන අතර ඒ අනුව සැප්තැම්බර් දෙවැනි දා අමාත්‍ය මණ්ඩලය දිවුරීම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම විසින් අද නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයට තහවුරු කර තිබේ.

19 වන සංශෝධනය මගින් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සිමා කර ඇති අතර යම් හෙයකින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් එම සංඛාව ඉහල දැමීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවයි එහි සදහන් වන්නේ.

මුලදී අමාත්‍යවරුන්ගෙන් කොටසක් හෙට, බ්‍රහස්පතින්දා දිවුරුම් දී අනිත් පිරිස පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමෙන් පසු දිවුරුම් දීමටයි සැලසුම් කර තිබුණේ.

Image copyright EPA

ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශ හා නියෝජ්‍ය අමාත්‍යධුර එක්සත් ජාතික පක්ෂය හා නිදහස් පක්ෂය අතර බෙදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යම් එකඟත්වයක් ඇතිවී තිබෙන බවද මේ අතර වාර්තා වේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කිහිපයක් අද සහ හෙට සිදු වනු ඇති බවටත් වාර්තා වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අද දින නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉතා සුහද සහ ගැඹුරු ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අවසන් එකඟත්වයකට පැමිණි බවයි.

මේ සඳහා දෙපාර්ශවය කැපවීම් සිදු කරන බවත් ඔහුගේ නිවේදනය සඳහන් වුයේ.