'දේශීය යාන්ත්‍රණය' වටා ඇති ප්‍රශ්න පහක්

Image copyright AP

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුවී ඇති යුධ අපරාධ චෝදනා මොනවා ද?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2009 දී හමුදාමය වශයෙන් කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම මානව හිමිකම් කඩ කිරීමේ නිරත වූ බව ඇමරිකාව විසින් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කියා සිටියේය.

ආණ්ඩුවේ හමුදා එක්සත් ජාතීන් ගේ සහ රතු කුරුස සංවිධානයේ මධ්‍යස්ථාන වලට මෙන්ම රෝහල්වලට ද ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් ප්‍රකාශ විය.

කොටි සංවිධානය සාමාන්‍ය වැසියන් ‘පළිහක්’ හැටියට භාවිතා කළ බවත් බර අවි රෝහල් බිම් වල ස්ථාන ගත කළ බවත් එක්සත් ජාතීන් ගේ සංවිධාන වාර්තාව කියා සිටියේය.

ශ්‍රි ලංකා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?

ශ්‍රි ලංකාවේ ආණ්ඩුව මුලදී තදින්ම මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් පසුකාලීනව මේ පිළිබඳව හොයා බැලීම සඳහා එකඟ විය.

Image copyright Getty

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටියදී හිටපු මහ ලේකම් බැන්කි මුන් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව හොයා බැලීමට එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ දේශීය යාන්ත්‍රණයක් හරහා පවතින චෝදනා පරීක්ෂා කරන බවයි.

ඇමරිකාවේ ස්ථාවරය වෙනස් වීද?

ඇමරිකා එක්සත් ජනපදය මුලදී දැරූ ස්ථාවරය වූයේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

නමුත් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතවරිය නිශා බිස්වාල් අද (අගෝ 26) ප්‍රකාශ කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය දක්වන බවයි.

දේශීය යාන්ත්‍රණයක් හරහා සිදු කෙරෙන පරීක්ෂණයක් පිළිගන්නා බවට එක්සත් ජනපදය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

නව පරිපාලනය කෙරෙහි වැඩි විශ්වාසයක් පවතින නිසා මෙම ස්ථාවරයට පැමිණි බවයි නිශා බිස්වාල් කියා සිටියේ.

දෙමළ දේශපාලන පක්‍ෂ දරන මතය කුමක්ද?

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්‍ෂ දැඩි ස්ථාවරයක සිටියෝය.

ඔවුන් කියා සිටින්නේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි කිසිදු විශ්වසනීයත්වයක් නොමැති බවයි.

එක්සත් ජනපදය දේශීය පරීක්ෂණයක් පිළිගන්නා බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවද ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී නොමැත.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියා සිටියේ ඇමෙරිකානු ස්ථාවරය දෙමළ ප්‍රජාවගේ බලාපොරොත්තු සුන් කරන්නක් වන බවයි.

යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රශ්න කරයි.

ජාත්‍යන්තර ප්‍රජාවේ ස්ථාවරය වෙනස් විය හැකිද?

අන්තර්ජාතික ප්‍රජාවෙන් බහුතරය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර ඊට මූලිකත්වය ගෙන සිටියේ බටහිර බලවතුන් ය.

ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන් යෝජනා ගෙන ආ අවස්ථාවලදී ඇතැම් රටවල් ඊට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

නමුත් ලෝක බලවතා වූ එක්සත් ජනපදයේ ස්ථාවරය වෙනස් වන විට අනෙකුත් බටහිර බලවතුන් ඊට සමගාමීව සිය ස්ථාවරය වෙනස් කිරීම මෑත ඉතිහාසය පුරා දැකිය හැකි විය.