‘දේශීය පරීක්ෂණයක්’ සම්බන්ධයෙන් ප්‍රතිචාර

Image caption දේශීය පරීක්ෂණයකට එරෙහි දෙමළ ජන හඬ

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී සිදු කෙරුණ බවට එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධීක්ෂණය සහිත දේශීය පරීක්ෂණයක් සඳහා සිය සහයෝගය ලැබෙන බවට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන සහ සමාජ සංවිධාන කෙරෙන් ප්‍රතිචාරය පළ වෙමින් පවතී.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දකුණු ආසියාව භාර සහකාර ඇමෙරිකානු ලේකම් නිෂා බිස්වාල් අද (26) කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවකදී කියා සිටියේ එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහයෝගය දක්වන බවයි.

දශක තුනකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ බිහිසුණු සිවිල් යුද්ධයේ අන්තිම අදියරේදී ජීවිත හතලිස් දහසක් පමණ විනාශ කෙරුණ බවට චෝදනා කෙරෙයි.

මානව හිමිකම් උල්ලංඝනය මහජන ජීවිත සහ දේපල විනාශය සම්බන්ධයෙන් එල්ල කෙරෙන එම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ අවධාරණය කරමින් සිටියේ.

ක්‍රියා මාර්ගමය වෙනසක්

Image copyright US Embassy SL
Image caption යුද කලාපයේ සංචාරය කරන ඇමෙරිකානු නියෝජිතයන්

එම ස්ථාවරයේ වෙනසක් පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන බල පෙරළියෙන් අනතුරුව ප්‍රදර්ශනය වෙමින් තිබුණ අතර අගෝස්තු 17 මහමැතිවරණයෙන් පසුවයි නව ඇමෙරිකානු ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශයට පත් කෙරුණේ.

මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ සුරේන් සුරෙන්ද්‍රන්ගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ඇමෙරිකානු ස්ථාවරය දෙමළ ප්‍රජාවගේ බලාපොරොත්තු සුංකරන්නක් වන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන එස්.බාලක්‍රිෂ්නන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක වෙමින් කියා සිටියේ ‘ඇත්තෙන්ම ඇමෙරිකාවේ මූලික උවමානව වී තිබුණේ ජාත්‍යන්තර අධීක්ෂණ සහිත අභ්‍යන්තර පරීක්ෂණයක්’ බවයි.

Image caption යුද්ධයේ දී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්

එහෙත් කලින් බලයේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඒ සඳහා අවස්ථාවක් උදා නොවූයෙන් බටහිර ලෝකයේ ස්ථාවරය වෙනස් වූ බවත් එවැනි පරිසරයක් තුළ ජාත්‍යන්තර පරීක්ෂනයක් පිලිබඳ යෝජනාව සමාජගත වූ බවත් එස්.බාලක්‍රිෂ්නන් පෙන්වා දෙයි.

රටේ ජයග්‍රහණයක්

ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ බීබීසියට කියා සිටියේ නව ඇමෙරිකානු යොමුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් වන බවයි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට විශාල පීඩනයක් එල්ල කෙරෙමින් පවතින අතරවාරයේ ජනවාරි අට සහ අගෝස්තු දාහත් වෙනි දින සිදු වූ දේශපාලන පරිවර්තනය මගින් ශ්‍රී ලංකාව කෙරෙහි බටහිර ලෝකයේ අලුත් විශ්වාසයක් ගොඩ නැගීම ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ස්ථාවරයට හේතු වීය යන්න බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ විග්‍රහයයි.

විශ්වාසයක් නැහැ

Image copyright No Fire Zone
Image caption ' no fire zone'

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් බීබීසියට අදහස් දක්වමින්, ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අවසන් යුද සිදුවීම් පිරික්සීමට විදේශීය නියෝජිතයන් ද ඇතුලත් කමිටුවක් පත් කළත් ආණ්ඩුව නිසි පරිදි කටයුතු නොකරන බව පවසමින් එම නියෝජිතයන් ඉවත්ව ගිය’ බවයි සඳහන් කළේ.

යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රශ්න කරයි.

අනවශ්‍ය පරීක්ෂණයක්

ඇමෙරිකානු ස්ථාවරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන බොදු බල සේනා සංවිධානය පවසන්නේ අදාළ චෝදනා පිළිබඳව දේශීය හෝ විදේශීය වූ කිසිදු පරීක්ෂණයක් අනවශ්‍ය බවයි. තිස් වසරක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමන හෝ පරීක්ෂණයක් ආරම්භ කරන්නේ නම්, 1971 සහ 1989 වකවානුවල පවතී බිහිසුණු ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන්ද විභාගයක් ආරම්භ නොකරන්නේ කුමක් නිසාදැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.

වමේ ප්‍රතිචාරය

Image caption කොටි සංවිධානය කළ අපරාධ දැක්වෙන ප්‍රදර්ශනයක්

නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවස න්නේ ‘ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය සම්පත් පවතින’ බවයි.

ඊට අවශ්‍ය යාන්ත්‍රණයක් සහ නිදහස රට තුල දැන් ගොඩ නැගී ඇති හෙයින් අභ්‍යන්තර පරීක්ෂණයකට බාධාවක් නොමැත යන්න ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ අදහසයි.

එවැනි පරීක්ෂණයක් මගින් සත්‍යය මතු කර ගැනීම සඳහා පවතින සහතිකය කුමක්දැයි බීබීසිය විමසු විට ඔහු කියා සිටියේ නව පාලනය යටතේ යටගියාව තුළ සිදු කෙරුණ සාපරාධී ක්‍රියා ‘එලියට රැගෙන’ ඇති බවයි.

ඉන්දියාවේ සහයෝගය

ශ්‍රී ලංකාවේ පවතින ආයතන මට්ටමින් අදාළ කරුණු පිළිබඳව විභාගයක් පැවැත්විය හැකි බව ඉන්දියාව ඇතුළු ආසියානු රටවලට සහ බටහිර රටවලට පැහැදිළි කරමින් පියවර ගැනීමේ පරිසරයක් උද්ගතව පවතින බව ආචාර්ය දයාන් ජයතිලකගේ අදහසයි.

ඒ සඳහා විශේෂ ‘දන් ගෙඩියක්’ නිර්මාණය කිරීමේ උවමනාවක් නැතැයි පවසන ආචාර්ය ජයතිලක 19 වැනි සංශෝධනයෙන් අනතුරුව එවැනි විභාගයක් සඳහා අවශ්‍ය අධිකරණ ස්වාධීනත්වය දැන් පවතින බවත් පෙන්වා දෙයි.