මහින්ද රාජපක්ෂට ඉඩක් තිබේද?

Image copyright Getty

ශ්‍රී ලංකාවේ ආකර්ශනීය දේශපාලන නායකයින් අතර සිටින මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක පදවිය භාර නොගන්නා බව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් හෙළිදරව් වී ඇත.

එසේ නම් මහින්ද රාජපක්ෂ පසු පෙළ මන්ත්‍රී අසුනකට වී සීමිත වපසරියක් තුළ කෙරෙන සහයෝගිතා දේශපාලනයක නිරත වන්නේද එසේත් නැතිනම් සක්‍රීය ලෙස දේශපාලනය තුළ නිරත වී තම ආධිපත්‍ය දේශපාලන ක්ෂේත්‍රය තුළ පිහිටුවා ගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව දේශපාලන විචාරකයින් අතර ඒකමතික අදහසක් නැත.

ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයක් තුළ පැවති මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් මුළු ඡන්ද ප්‍රතිශතය 42% කි. මේ අනුව බලතොත් රටේ ඡන්දදායකයින් අඩකට ආසන්න ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය පිළිගන්නා හෙයින් ඔහු ගේ අගමැති සිහිනය බොඳවී ගියත් ශක්තිමත් නායකයෙක් ලෙස ඉස්මතුවීමට ඔහුට ඉඩ තිබේ.

පිරිහුණ ඡන්ද බලය

අනෙක් අතට ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුනු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ එකොළහකින් පමණ අඩුවී ඇත. මේ අනුව බලතොත් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලනය අවරට යන එකකි.

මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන අනාගතය පිළිබඳව කෙරෙන පුරෝකථන දෙක අතරේ පිහිටුවා ලිය හැකි තවත් මතවාද ගණනාවක් මේ වන විට සමාජගත වී ඇත.

ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානි අමල් ජයසිංහ කියා සිටින්නේ මහින්ද රාජපක්ෂට තම පාක්ෂිකයින් තුළ බලාපොරොත්තුවක් දැනවීමේ තත්ත්වත් නැති හෙයින් ඔහුට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ තීරණාත්මක සාධකයක් වීමට ඉඩ නැති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ගේ තක්සේරුව වන්නේ මහින්ද රාජපක්ෂට තවදුරටත් දේශපාලන භුමිය තුළ රැඳී සිටීමට සහ බලය අත්පත් කර ගැනීමට විශාල විභවයක් තිබෙන බවයි.

වයස බාධාවක්ද?

මොහාන් සමරනායක පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වලදී ජයග්‍රහණය කිරීම සහ මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශාල ආසන සංඛ්‍යාවක් ලබා ගත හැක පරිදි මැතිවරණ සටන මෙහයවීමෙන් තම විභවය සනාථ කොට ඇති බවයි.

මේ විභවය පාලනය කරන සාධක රැසක් ඇති බව මොහාන් සමරනායක පිළිගනී.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔහුගේ පාලනයෙන් ගිලිහී යෑම....අනෙක තමයි ඔහුගේ වයස.මේ ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක් නොවුවහොත් අනිවාර්යයෙන් අවුරුදු පහක් යනවා'යැයි සමරනායක පැවසීය.

Image copyright Mahinda Rajapaksha

මහින්ද රාජපක්ෂ මේ වනවිට එකුන් හැත්තෑ වැනි වියෙයි පසු වන්නේ.

ජනවාරි අට බලවේගය

ජනවාරි අටවෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කළ සමාජ ව්‍යාපාරවල බලපෑම හේතුවෙන් මතු වී තිබෙන නව දේශපාලන සංස්කෘතිය තුළ මහින්ද රාජපක්ෂට තම බලය යළිත් පිහිටුවා ගැනීම දුෂ්කර විය හැකි බවත් මොහාන් සමරනායක කියා සිටී.

මේ වන විට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවූලේ උදවියට එරෙහිව පොලිස් විමර්ශන කීපයක් ම ආරම්භ වී ඇත.

ප්‍රංශ පුවත් සේවාවේ අමල් ජයසිංහ පවසන පරිදි මේ විමර්ශන සහ ඒ ඔස්සේ පැවරිය හැකි නඩු වෙතොත් ඒවා මහින්ද රාජපක්ෂ ගේ දේශපාලනය කෙරේ තීරණාත්මක ලෙස බලපෑමට ඉඩ තිබේ.

රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන පවසන පරිදි රට තුළ මාධ්‍ය නිදහස වැඩිවීමත් සමඟ රාජපක්ෂ පරිපාලනයේ සිදු වූ බව කියන දූෂණ වැඩි වශයෙන් හෙළිදරව් වීමට තිබෙන ඉඩ කඩ ද හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාව සීමා කිරීම කෙරෙහි බල පෑ හැකි සාධකයකි.

මාවත් දෙකක්

Image copyright elvis

මොහාන් සමරනායක පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂට තම බලය තහවුරු කර ගැනීමට ප්‍රධාන ක්‍රියා මාර්ග දෙකක් ගත හැකි බවයි.

පළමුවැන්න,එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින වඩා සටන්කාමී කොටස් සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන්ගේ අතට ගැනීමයි.

දෙවැන්න, තමාගේම පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගා ගැනීමයි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ තීරණාත්මක සහ බලපෑම් සහගත සාධකයක් වනවාද නැද්ද යන්න පිළිබඳ විවාදයක් තිබුනත් ඔහු ආකර්ෂණීය නායකයෙක් බවට දේශපාලන විචාරකයින් අතරේ පොදු පිළිගැනීමක් පවතී.

මෙවැනි නායකයින්ට අර්බුදකාරී අවස්ථාවලදී ඉස්මතු වීමට ඉඩ ලැබෙන හෙයින් එවැන්නන් පිලිබදව සුපරීක්ෂාකාරීව සිටීම ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ සිරිතයි.