මීළඟ ටෙස්ට් තරඟයට ජෙහාන්ද කුසල්ද?

Image copyright Reuters

ඉන්දියාව සමග හෙට පැවැත්වෙන තීරණාත්මක තුන්වන හා අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳව තවමත් අවසන් තීරණයක් නොමැති බව කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

විශ්‍රාම ගිය කුමාර සංගක්කාර වෙනුවට උපුල් තරංග ක්‍රීඩා කිරීම ස්ථිර බව පැවසූ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, කෙසේ නමුත් දෙවන ටෙස්ට් තරගයේ අසාර්ථක වූ ජෙහාන් මුබාරක් වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවනවා ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී.

ටෙස්ට් අත්දැකීම්

Image copyright AFP

තරිඳු කෞශල්‍ය ආබාධයකට ලක් වී සිටින බැවින් ඔහුගේ භෞතචිකිත්සක ගේ වාර්තාව ලැබෙන තුරු පන්දු යවන්නන් ගේ ලැයිස්තුවද තීරණය කළ නොහැකි බවයි ශ්‍රී ලංකා පිලේ නායක කියා සිටියේ.

කුමාර් සංගක්කාර විශ්‍රාම යාමෙන් පසු ක්‍රීඩා කරන පළමු තරගය වන මෙම තරගයේ ක්‍රීඩා කරන පිතිකරුවන් සියළු දෙනාම පාහේ වැඩි ටෙස්ට් අත්දැකීම් නැති ක්‍රීඩකයන් බව පෙන්වා දෙන නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ සංගක්කාර හා මහේල නැති අඩුව පිරවීම ලෙහෙසි දෙයක් නොවන බවයි.

අභියෝගය

Image copyright AFP

කෙසේ වෙතත් එය අභියෝගයක් ලෙස ගෙන ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ලෙස සම වී තිබෙන අතර ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පැවසුවේ මෙම තරගය ජය ගෙන, වසර 23කින් පසු ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම තම කණ්ඩයමේ බලාපොරොත්තුව බවයි.

මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා පිලේ නායකයාද අවධාරණය කරයි.