චැනල් 4 වීඩියෝ පටය ගැන හමුදා විමර්ශනයක්

චැනල් 4 වීඩියෝ පටයේ දැක්වෙන පුද්ගලයන් සැබවින්ම සැරසී සිටින්නේ යුද හමුදා නිල ඇඳුම්ද යන්න ගැන හමුදා මුලස්ථානය විමර්ශනය කරන බව නිවේදනය කරයි.   මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ අද ඊයේ නොව 2013 වසරේ සිට බවයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

එය දීර්ඝ කාලයක් ගත වෙන කාර්යයක් යයි කියා සිටි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවතින නීතිය අනුව එම විභාග සිදුකළ යුතුව ඇති හෙයින් ප්‍රමාදයක් සිදුවෙන බවයි සඳහන් කළේ.

Image copyright Getty

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරුදහන් වීම සහ ගිරිතලේ යුද හමුදා කඳවුරේ වධකාගාරයක් ඇති බවට එල්ලවන චෝදනා ගැන බීබීසිය මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව කළ ඉල්ලීමකට අනුව නම් කළ යුද හමුදා නිලධාරීන් හතර දෙනකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරු දහන්වීම සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණවලින් ගිරිතලේ වධකාගාරයක් පිලිබඳව තොරතරු ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කරයි.

මෙතෙක් කළ පරීක්ෂණවල සොයා ගැනීම් අනාවරණය කළ නොහැක්කේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලට බාධා වන නිසා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ .

විමර්ශනයට අදාලව දැනට සැකකරුවන් හත් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන මෙහෙයවන බවයි ඔහු පැවසුවේ.

අත් අඩංගුවට ගෙන ඇති හත් දෙනාගෙන් පස් දෙනකු යුද හමුදාවට අයත් බවත් ඉන් හතර දෙනකු වර්තමානයේ හමුදා සේවයේ නිරත වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම හතර දෙනාගෙන් දෙදෙනකු ලුතිනන් ජනරාල්වරුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

යුද හමුදාවට සම්බන්ධ අයගෙන් සමහරෙක් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රාජකාරී කොට ඇති බවත් ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව කළ ඉල්ලීමකට අනුව නම් කළ යුද හමුදා නිලධාරීන් හතර දෙනකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු අනාවරණය කරන ලෙස ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඉකුත්දා මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියාය.

අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගෙන් සැලකිය යුතු තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවත් එම තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙසත් ඇය පොලිස්පතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඇය ඉල්ලා සිටියාය.