ඕමන්තෙයි මුර පොළ ඉතිහාසයට

වවුනියාව ඕමන්තේ පිහිටි සීමා මුරපොල වසර දහතුනකට පසුව අගෝස්තු 29 වෙනිදා සිට සම්පුර්ණයෙන්ම ඉවත් කොට තිබේ.

මේ අනුව එම මාර්ගයේ ගමන් කරණ කිසිවෙකුටත් මින් ඉදිරියට තම වාහනය පරීක්ෂා කිරීමට හෝ හැදුනුම්පත ඉදිරිපත් කොට ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවන බව ආරක්ෂක අංශ මහජනතාවට දැණුම් දී ඇත.

2002 වර්ෂයේදී මෙම මුරපොල ආරම්භ කරණ ලද්දේ උතුරු ප්‍රදේශයට යුද්ධයට සම්බන්ධ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වළක්වා ගැනීමේ සහ සැක කටයුතු පුද්ගලයින් උතුරට යාමත් උතුරේ සිට එවැනි පුද්ගලයින් දකුණට යාමත් වළක්වා ගැනීමේ අරමුණින් යුතුවය.

නමුත් යුද්ධය හමාර වී වසර හයක් ඉක්ම ගිය අවස්ථාවේදීත් ශ්‍රීලංකාවේ වැසියන් හා වාහන පරීක්ෂා කොට ලියාපදිංචි කෙරෙන එකම ස්ථාවර මුරපොල ලෙස ඕමන්ත සීමාමුරපොල ක්‍රියාත්මක විණි.

දේශපාලන ඉල්ලීම්

රටේ සාමය ක්‍රියාත්මක වන අවස්ථාවකදී ඕමන්ත සීමාමුරපොල තවදුරටත් ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් රජයට හා ආරක්ෂක අංශවලට උතුරේ දේශපාලනඥයින්ගෙන් මෙන්ම විවිධ සංවිධානවලින් චෝදනා එල්ලවූ අතර ඊට විදේශීය සංවිධානවලින්ද අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වී තිබුණි.

එවැනි අවස්ථාවලදී බලධාරීන් ඕමත්න සීමාමුරපොලේ නීතිරීති ලිහිල් කිරීමට පියවර ගත් නමුත් එම ලිහිල් කිරීම් දින කීපයකට පමණක් සීමාවුණි.

Image copyright bb

විදේශීය රාජ්‍ය නායකයින් හා අන්තර් ජාතික සංවිධානවල ඉහල පෙලේ නායකයින් උතුරේ සංචාරය කළ අවස්ථාවලදීද ඕමන්ත සීමාමුරපොලේ නීතිරීති ලිහිල් වූ අතර මානව හිමිකම් කමිටුවල උසස් නිලධාරීන් උතුරේ සංචාරය කරණ විට මුරපොලේ නිලධාරීන් සිය රාජකාරීවලින් ඉවත් වී ඕමන්ත සීමාමුරපොල සාමාන්‍ය තත්ත්වයෙන් පවතින ස්ථානයක් බව පෙන්වීමටද පියවර ගෙන තිබූ ආකරය මීට ඉහතදී අවස්ථා ගණනාවකදීම දක්නට ලැබුණු තවත් සුවිශේෂී අවස්ථාවකි.

නවනීදන් පිල්ලේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කටයුතු පිළිබද ලේකම්වරිය වූ නවනීදන් පිල්ලේ උතුරේ සංචාරය කළ අවස්ථාවේදීද, බැන්කී මූන්ගේ සංචාරයේදීද එම තත්ත්වය දක්නට ලැබුණු අතර ඊට අමතරව තවත් අවස්ථා කීපයකදීද ඕමන්ත සීමා මුරපොල මෙවැනි සාමාන්‍ය තත්ත්වයකට ලක්වුණු අවස්ථා දැකගත හැකිවිය.

ඕමන්ත සීමාමුරපොල හරහා ගමන්ගන්නා සෑම වාහනයක්ම ලියාපදිංචි කිරීම අනිවාර්ය වූ අතර සාමාන්‍ය වැසියන්ගේ ජාතික හැදුනුම්පත ඉදිරිපත්කොට ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කිරීමට අමතරව ඔවුන්ගේ ගමන්මලු හා ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමද මෙම මුරපොලේදී සිදුවීම නිසා යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ගමන් කරණ වැසියන්ට විශාල පීඩාවකට ලක්වීමට සිදුවිණි.

එම තත්ත්වය ඉවත්වීම ගැන උතුරේ වැසියෝ අද දැඩි සතුටකින් කතා කළේ අතීතයේදී තමන්ට විදීමට සිදු වුණු දුක්කම්කටොලු යළි සිහිපත් කරමිනුයි.

මහජන සතුට

ඕමන්ත සීමාමුරපොලේ වූ විශේෂිතම සිදුවීම වූයේ විදේශිකයින්ට හා විදේශ රටවල පදිංචි වී සිටින ශ්‍රීලාංකිකයින්ට මෙම මුරපොල හරහා ගමන් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක් ලබාගැනීමට සිදුවීමයි.

එවැනි පිරිස් ලියාපදිංචි කිරීමට විශේෂ ස්ථානයක් ඕමන්ත සීමාමුරපොලේ ස්ථාපනය කොට තිබූ අතර ඔවුන්ව පරීක්ෂා කිරීමට හා ලියාපදිංචි කිරීමට වෙනම ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා සිටියහ.

මේ වනවිට ඕමන්ත සීමාමුරපොල ඉවත්වීම නිසා ඒ හරහා ගමන් කරණ සියලු වැසියන්ට නිදහසේ ගමන්කිරීමට අවස්ථාව සැලසී ඇති අතර මුරපොල හරහා ගමන් කරණ වැසියෝ මේ තත්ත්වය පිළිබදව දැඩිලෙස සතුටට පත්ව සිටියහ.