යාල වනෝද්‍යානයේ දිවියෙක් වාහනයකට බිලි

වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකට අයත් දිවියකු යාල ජාතික වන උද්‍යානයේදී වාහනයක හැපී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතෙකු බවත් දිවියාගේ සුෂුම්නාවට දැඩි හානි සිදුවීම මරණයට හේතු වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසුවේය.

වනෝද්‍යානය තුළට පැමිණෙන සෆාරි ජීප් රථ සහ පෞද්ගලික සංචාරක රථ අධික වේගයෙන් ගමන් කිරීම සතුන් මේ ආකාරයට රථවාහනවල ගැටී මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව වනජීවි නිලධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම දිවි විශේෂය යාල, විල්පත්තු වැනි වනෝද්‍යාන තුළ පමණක් දුලභව දක්නට ලැබෙන අතර යාල වනෝද්‍යානය තුළ වෙසෙන්නේ 60ට අඩු දිවියන් සංඛ්‍යාවකි.

උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25 ක වේග සීමාවක් පනවා තිබුණද බොහෝ රියදුරන් ඊට අවනත නොවන බවයි යාල ජාතික උද්‍යානයේ නිලධාරියෙක් කියා සිටියේ.

මෙම තත්වය පාලනය කිරීම සඳහා පවතින ප්‍රධානතම බාධාව ලෙස වනජීවී දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය ප්‍රමාණයට මඟ පෙන්වන නිලධාරීන් නොමැති වීම හැඳින්විය හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මේ වන විට යල ජාතික වන උද්‍යානයේ සිටින්නේ එවැනි මඟ පෙන්වන්නන් 32ක් බවත් ඒ සඳහා 60 ක පමණ මඟ පෙන්වන්නන් අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයන්ගෙන් බොහෝ දෙනකු දිවියන් දැක බලා ගැනීම පිණිස පැමිණෙන බව මේ අතර සෆාරි රථ හිමි ආයතන සහ සංචාරක මඟ පෙන්වන්නෝ කියා සිටිති.