ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරි ඇයි?

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ජාතික ආණ්ඩුවකට නොගොස් තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට අගමැතිවරයාගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළ බවට වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජාතික ආණ්ඩුවකට නොගොස් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් විමසු බවයි.

මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවකට යාමේ වැදගත් කම එහිදී අගමැතිවරයා තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට පහදා දුන් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ජාතික ආණ්ඩුවකට යෑමේ වැදගත්කම එහිදී අගමැතිවරයා තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට පහදා දුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට බලපෑම් කරනවා නම් අඩන්තේට්ටම් කරනවා නම් අපි තනි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියල අපි පෙන්විය යුතුයි කියලා අපි විශ්වාස කළා, ඒ වෙලාවේ අපි නායකයාගෙන් විමසුවා මේ වෙලාවේ මෙහෙම කළොත් හොඳ නැද්ද කියලා, එවිට එතුමා පරිණත දේශපාලනඥයෙක් විදිහට අපට පැහැදිලි කරලා දුන්නා මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක තියෙන වැදගත්කම’ මන්ත්‍රීවරයා කියා සිටියේය.

නිදහසින් පසු ජාතික ආණ්ඩු බිහි කිරීමට විවිධ කතාබහ ඇති වුවත් ප්‍රථම වරට ජාතික ආණ්ඩුවක් බිහි වන්නේ මෙවර බව පැවසූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය විශාල කැප කිරීමක් සිදු කරන බවයි සඳහන් කළේ.

මැතිවරණයෙන් පසු දින 14 ක් ගත වී ඇතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නොහැකිව තිබෙන්නේ ඇමති තනතුරු බෙදා ගැනීමේ පොරයක් නිසා නේදැයි විමසු විට එය ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ එවන් පොරයක් නොමැති බවයි.

තනතුරු බෙදා ගැනීමේ පොරයක්?

19 වන සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 ඉක්මවයි නම් ඊට පාර්ලිමේන්තුවේ අවසරය අවශ්‍ය නිසා එම අවසරය ලබා ගෙන 4 වැනිදා වන විට අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

‘කලබලයක් නැහැ, හදිසියක් නැහැ, සාමාන්‍ය ආණ්ඩුවලට තියෙන්නේ බල පොරයක් නමුත් අපිට එහෙම එකක් නැහැ, බොහොම නිවී සැනසිල්ලේ පිළිවලට වැඩකටයුතු බාර ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ’ මන්ත්‍රීවරයා පැවසීය.

මෙවර මහ මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලඥයින් ආණ්ඩුවේ තනතුරු ගැනීම පිළිබඳව ජනතාව මතු කරන විරෝධය යම් සත්‍යයක් ඇති බව තමන් පිළිගන්නා බව පැවසූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන් පිරිස් පත් කළත් ඔවුන්ට පසුගිය ආණ්ඩුවල මෙන් තනි බලයකින් කටයුතු කළ නොහැකි බවත් කියා සිටියේය.

‘ඉස්සර ඇමතිවරයාට තිබුණේ අසීමිත බලතල, නමුත් දැන් ඒවා පාලනය කරන්න කමිටුදාලා නව ක්‍රමයක් සකස් කරලා තියෙනවා, බොහොම විනිවිද පෙන විදිහට වීදුරු පෙට්ටියක ඉඳල තමයි අපි සියළු දෙනාටම වැඩ කරන්න වෙන්නේ’ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙන බවට පල වන වාර්තා පිලිබඳ විමසීමේදී මන්ත්‍රීවරයා කියා සිටියේ ‘හම්බ වෙයි කියලා විශ්වාස කරනවා, හැබැයි හම්බ වෙනකම් ෂුවර් එකක් නැහැ’ යනුවෙනි.