ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විපක්‍ෂ නායකයා පත් කරන්නේ කවුද?

හෙට දින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන බවත් එම අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා සන්ධාන පක්ෂ නායකයන්ට පැවසූ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

අද උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැත්වුණු සාකච්ඡාවක දීයි ජනාධිපතිවරයා මේ බව සන්ධාන පක්ෂ නායකයන්ට දන්වා තිබෙන්නේ.

"අපි ඉල්ලීමක් කළා විපක්ෂයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා, විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බහුතරය කැමති කෙනෙක්ව විපක්ෂ නායකවරයා පත් කරන්න ඉඩ දෙන්න කියල"

"එතුමා කිව්වා එතුමාගේ කැමැත්ත අනුව විපක්ෂ නායකවරයෙක් තෝරා ගන්න අදහසක් නැහැ, විපක්ෂයේ වාඩි වෙන මන්ත්‍රීවරුනට ඒ අවස්ථාව දෙන බව එතුමා ප්‍රකාශ කළා" විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

ජාතික ආණ්ඩුවට 70ක්?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 70 දෙනෙකු පමණ ජාතික ආණ්ඩුවට එක් වෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස් බි දිසානායක කළ ප්‍රකාශය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ එතරම් මන්ත්‍රී ප්‍රමාණයක් ආණ්ඩුවට එක් වනු ඇතැයි තමන් නොසිතන බවයි.

විපක්ෂ නායකවරයා ලෙස පත් විය යුත්තේ කවුදැයි ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී කතා බහට ලක් නොවූ බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට නියමිත බවටයි මින් පෙර මාධ්‍ය වාර්තා පළවී තිබුණේ.

අද දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවකට යාමේ අවාසිය ගැන තමන් අදහස් දැක්වූ බව පැවසූ විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙම හවුල් ආණ්ඩුව හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවාසියක් විය හැකි බවද තමන් පෙන්වා දුන් බවයි ඔහු පැවසුවේ.