ඉන්දු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර බහින්බස් වීමක්

Image copyright AP

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ හතරවැනි දිනය වන අද ඉන්දීය ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර බහින්බස් වීම් කිහිපයක්ම වාර්තා විය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් තරඟ තීරක ප්‍රශ්න කර ඇති බව වාර්තා වන අතර ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කර ඇති බවක් තවමත් වාර්තා වී නැත.

Image copyright Reuters

තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවට පැමිණි රෝහිත් ශර්මා කියා සිටියේ දෙපාර්ශවය අතර එදිරිවාදී කමක් නැති බවයි.

‘මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ ගොල්ලෝ හොඳ මිතුරන්. මම දැන් දැක්ක ඒ අය එකට තේ බොනවා. ඒක හොඳ දෙයක්.’ රෝහිත් ශර්මා පැවසීය.

Image copyright Reuters

ඉන්දීය පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන් ශර්මා පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ දී ඔහුට බවුන්සර් පන්දු කිහිපයක් යැවීමට ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කටයුතු කළ අතර එහිදීයි මෙම උණුසුම් තත්වය ඇති වුයේ.

ප්‍රසාද්ගේ පන්දුවට පහරක් එල්ල කරමින් අනිත් අන්තයට පැමිණි ඉෂාන් ශර්මා තම හිසට අතින් පහර දෙමින් ධම්මික ප්‍රසාද්ට යමක් කියනු දක්නට ලැබුණි.

Image copyright Reuters

එහිදී ක්‍රීඩකයන් අතර බහින්බස්වීමක් ඇති වුණු අතර විනිසුරුවරුවන් එහිදී කණ්ඩායම් දෙකටම අවවාද කරන ආකාරයක් පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඉෂාන් ශර්මා ලගට ගොස් යමක් ප්‍රකාශ කළ අතර විනිසුරු එහිදී ඔහුට අවවාද කළේය.

ඉන් පසු ඇරඹුණු ශ්‍රී ලංකා ඉනිමේ ද ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන් ශර්මා ආවේගශිලිව හැසිරුණු අතර කිහිපවරක්ම ඔහුගේ හැසිරීම පිළිබඳව විනිසුරුවන් ඔහුට අවවාද කර තිබුණි.

Image copyright AFP

ඊයේ ද ඉෂාන් ශර්මා හා රංගන හේරත් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර කුසල් පෙරේරා දැවී යාමේදී ඔහුට ඉන්දීය ක්‍රීඩකයන් යමක් ප්‍රකාශ කරනු දක්නට ලැබුණි.

මේ පිළිබඳව බිබිසියට අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පැවසුවේ ඉන්දීය නායක විරාට් කෝලි හා වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විවිධ දේ ප්‍රකාශ කිරීම නිසා මෙවන් තත්වයක් ඇතිවූ බවයි.

මේ පිළිබඳව තරග තීරකවරයා පරීක්ෂණයක් කැඳවා ඇති බව ද බිබිසියට වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර