කතානායක පදවියට කරු ජයසුරිය

karu_jaysuriya Image copyright Getty

අළුත් පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කරු ජයසූරිය පත් කොට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරියගේ නම යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා එය ස්ථිර කළේය. වෙනත් කිසිදු යෝජනාවක් නොවූ හෙයින් පාර්ලිමේන්තු මහලේකම් වරයා කරු ජයසුරිය මන්ත්‍රීවරයා 8 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්වූ බව නිවේදනය කළේය.

ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ හා නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා, කරු ජයසුරිය මන්ත්‍රීවරයාව කතානායක අසුනට රැගෙන ගිය අතර ඉන් අනතුරව කතානායකවරයා දිවුරුම් දුන්නේය.

සුබ පැතුම්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් නව කතානායකවරයාට සුභ පතා අදහස් දැක්වූ අතර මුලින්ම අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ සම්මුතිවාදී දේශපාලනයේ වැදගත් කම අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය කථානායක තනතුරට පත්වීම පිළිබඳව පක්ෂ නායකයින් සුභ පැතුහ.

හිටපු විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා නව මැතිවරණ ක්‍රමයක් වසරක් තුල සම්මත කර ගැනීමට කතානායකවරයාගේ සහය ඉල්ලා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය නැවත තහවුරු කරමින් හා ජාතීන් අතර සමානාත්මතාව, යුක්තිය හා සාධාරණත්වය තහවුරු වන පරිදි නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම නව පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්තන් කියා සිටියේය.

Image copyright Thilanga Sumathipala
Image caption තිලංග සුමතිපාල

නියෝජ්‍ය කතානායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල පත් වූ අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙය්කාලනාතන් පත්විය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක පත් වී ඇත අතර එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභා නායක ලෙස තේරී පත් වී ඇත.

ගමගේ යුවළ

Image copyright azzam
Image caption අනෝමා සහ දයා ගමගේ

යුවළක් මන්ත්‍රී තනතුරු දැරීම අළුත් පාර්ලිමේන්තුවේ විශේෂයකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දයා ගමගේ සහ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.

ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ දයා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වේ.

අනෝමා ගමගේ මින් පෙර 2010-2015 පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර පසුගිය රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළාය.

මින් පෙර අවසන් වරට යුවළක් පාර්ලිමේන්තුව නියේජනය කළේ හාරිස්පත්තුව හා කුණ්ඩසාලේ මන්ත්‍රීවරුන් වූ එක්සත් ජාතික පක්ෂයේ ආර්. පී. විජේසිරි මහතා හා එල්. එම්. විජේසිරි මහත්මියයි.