කොටි මිනිස් ගැටුමෙන් දිවියන් 20 ක් මිය ගිහින්

Image caption ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව පශු වෛද්‍යවරු පවසති

අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින අලින් සහ මිනිසුන් පිළිබඳව කලක් මුළුල්ලේම වාර්තා පළ විය.

සිය වාසභූමියත්, ජීවිකාවත්, ආහාරත් රැක ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ වෙසෙන සතුන් සහ මිනිසුන් අතර හට ගෙන තිබෙන තවත් ගැටුමක් පිළිබඳව දැන් ප්‍රබල අවධානය පළ වී තිබේ.

ඒ දිවි මිනිස් ගැටුමයි. නොඑසේනම් කොටි මිනිස් ගැටුම.

මේ ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොටින් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි, වන සත්ව කටයුතු පිළිබඳ පශු වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ.

එම තර්ජනය කෙතරම් බරපතලද යත් ජාතික වනෝද්‍යානවල සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථවල වේගය සීමා කිරීම කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ද අවධානය පළ වී තිබේ.

ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී මානව ක්‍රියාවන් සහ පාරිසරික හේතූන් නිසා දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි.

Image copyright Environmental Foundation Ltd
Image caption අලි මිනිස් ගැටුම සහ නීතිවිරෝධී අලි පැටවුන් පිළිබඳව රාජපක්ෂ පරිපාලනය සමයේ ප්‍රබල අවධානය යොමු වී තිබුණි

ඔහු ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයායි.

තමා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබැවූ සමයේ යාල වනෝද්‍යානයේ සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථ සංඛ්‍යාව 80 කට සීමා කොට තිබූ බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට පැවසීය.

"දැන් තියනවා 350 කටත් වඩා ජීප් යාල විතරක්," ඔහු පැවසීය.

කොටියන්?

ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ Leopard හෙවත් දිවියන් විනා කොටියන් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

එහෙත් දෙමළ කැරලිකරුවන් ව්‍යාඝ්‍රයකු සිය සංකේතය බවට පත් කර ගනිමින් 'කොටි සංවිධානය' යටතේ සටන් වැදීම එම විශ්වාසයට පදනම් වූ බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

Image copyright AFP
Image caption කොටි සංවිධානයේ සංකේතය නිසා කොටින් දිවියන් ලෙසින් විග්‍රහ කිරීමට ශ්‍රී ලංකාව පෙළඹුනාද?

ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් පිළිබඳව නිසි සමීක්ෂණයක් පවත්වා නැතත් දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කරයි.

කෙසේ නමුත් එය විද්‍යාත්මක නාමය සහ ව්‍යවහාරය අතර ප්‍රශ්නයක් විනා ශ්‍රී ලංකාවේ කොටින් නැති බවයි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.

"කොටියා කියන සතා මෙහෙ නෑ," ඔහු පැවසීය.

සන්නිවේදන කුළුණක්

පසුගියදා යාල ජාතික වනෝද්‍යානයේදී දිවියකු වාහනයක හැපී මිය යාමත් සමගයි ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන්ගේ ඉරණම ගැන යළිත් අවධානය යොමු වී තිබෙන්නේ.

වනාන්තර හෙළි කිරීමත්, ගංවතුර සහ නියඟ වැනි ස්වභාවික ආපදා හේතුවෙනුත් කොටින්ගේ ස්වභාවික දිවි පෙවෙතට දිගින් දිගටම ප්‍රබල අභියෝග එල්ල වෙමින් පවතියි.

"කොටි කියන සතාත් ලංකාව පුරාම විසිරිලා හිටිය. දැන් මේ වෙන කොට ගිහිල්ල, ගිහිල්ල ඔය මුළුවලට තමයි කොටු වෙලා ඉන්නේ," පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේය.

"උදාහරණයකට ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි."

Image caption 'හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි'

මීට දශක පහකට පමණ ඉහතදී කොටින් හෙවත් දිවියන් වාසය කළ කැලෑබද පළාත් වර්තමානයේ ජනාවාශ බවට පත්ව තිබීම හේතුන් කොටින්ට සිය වාසස්ථානය සහ ආහාර අහ්මිවීම මේ තරජනයට ප්‍රධානම හේතුවක්.

"දැන් මිනිස්සු ඉන්න පලාත්වල මුවෝ, ගොන්නු වගේ සත්තුත් නෑ. හිටියොත් ඉන්නේ වල ඌරෙක් විතරයි. ඉතින් මිනිස්සු ඉන්න පලාත්වල ඉන්න කොටි යැපෙන්නේ බල්ලෝ, හරක් වගේ ගෘහාශ්‍රිත සත්තු මත," පශු වෛද්‍ය විජිත පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් වනාන්තරබදව වෙසෙන ජනතාවගේ දිවි පෙවෙතට වඩා ලාංකීය බලධාරීන්ගේ ක්‍රියාකාරකම් දිවියන්ට තර්ජනයක් වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා පවසන්නේ.

කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය සමයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් කොට යාල වනෝද්‍යානයේද ආරක්ෂක හමුදාව කඳවුරු බැඳගත් බව පවසන ආනන්ද විජේසූරිය, ඉන් අනතුරුව එහි ඩයලොග් සමාගමේ සන්නිවේදන කුළුණක් ඉදි කිරීමට හමුදාව කටයුතු කිරීම වන සතුන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව සඳහන් කළේය.

"යුද්ධෙ ඉවර වුනා, ඒත් සන්නිවේදන කුලුන ගලවාගෙන ගියේ නෑ. දැන් ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ," ඔහු පැවසීය.

වනෝද්‍යානය තුල ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබෙන නමුත්, අදාළ කුලුන උපයෝගී කරගමිනින් දිවියන් සිටින ස්ථාන වහාම දැනුම්දීමට හැකියාව තිබීම දිවියන්ගේ ස්වභාවික දිවි පෙවෙතට ප්‍රබල බාධාවක් පමණක් නොව, සතුන් මෙසේ අනතුරුවලට ලක්වීමටද හේතුවක් වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

(හම්බන්තොට සිට ඡායාරූප සහ වැඩි විස්තර ලබා දුන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ට ස්තුතිය)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර