ජාත්‍යන්තර පරීක්‍ෂණයකට යෝජනාවක් සම්මතයි

Image copyright AFP

ශ්‍රී ලංකාවේ සිදුවුණු බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කරයි.

මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් විසිනි.

මෙම යෝජනාව සම්මත වීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් පැවසීය.

යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියා සිටි නමුත් කිසිදු පූර්ව දැණුම් දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක කියා සිටියේය.

'නිශ්ඵල ක්‍රියාවක්'

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුම වරින් වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධ වීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයි ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් සභාපති සී.වී.කේ. ශිවඥාණම් තවදුරටත් පැවසුවේ රටේ අධිකරණය මෙන්ම පත් කරණු ලබන කොමිසම් මගින් සාධාරණයක් ඉෂ්ට නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.