තරිඳු කෞෂාල්ට එරෙහි පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පිළේ නවක දඟ පන්දු ක්‍රීඩක , 22 හැවිරිදි තරිඳු කෞෂාල්ගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

ඉන්දියාව සමග ඊයේ පැවති තුන් වැනි හා අවසන් ටෙස්ට් තරඟයේ ඔහු යැවු පන්දු කිහිපයක ඉරියව්ව සැක සහිත බව තරග විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබේ.

ඒ අනුව තරිඳු කෞෂාල් ඉදිරි දින 14 තුල තම ඉරියව්ව පරික්ෂා කර ගත යුතු අතර, එම කාලය තුල ඔහුට තරඟ වලට ක්‍රීඩා කිරීමටද හැකියාව ලැබේ.

එම පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ ඉරියව්ව නිත්‍යානුකුල නොවේ නම ඔහුට තරඟ තහනමක් පැනවෙන අතර ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසු යළි තරඟ බිමට පිවිසිය හැක.

තරිඳු කෞෂාල් ට පෙර ශ්‍රී ලංකා පිලේ සචිත්‍ර සේනානායකටද මෙලෙස නිත්‍යානුකුල නොවන ඉරියව්වකින් පන්දු යවන බවට චෝදනා එල්ලවූ අතර පසුව ඔහු තම ඉරියව්ව නිවැරදි කර ගනිමින් කණ්ඩායමට නැවත එක් විය.

තරිඳු කෞෂාල් යවන "දුස්රා" පන්දු කිහිපයක් පමණක් සැක සහිත බව විනිසුරුවරුන් විසින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙන් බිබිසියට පැවසුවේ.