මත්තල ගුවන් තොටුපොළේ උද්ඝෝෂණය අවසන්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගබඩාවක් වී ගබඩා කිරීමට යොදා නොගන්නා ලෙස ඉල්ලමින් ගුවන් තොටුපොල සේවකයෝ සහ ප්‍රදේශවාසීහු ආරම්භ කළ උද්ඝෝෂණය අත්හැර දමා තිබේ.

ගුවන් තොටුපොළට ලඟාවී තිබුණු වී රැගත් ලොරි රථ තුනක් ඇතුළු කිරීම තාවකාලිකව නවතා තිබූ අතර, පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව අදාල ගබඩාවේ වී ගබඩා කිරීම ආරම්භ කෙරිණ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වී ගබඩාවක් කිරීමට රජය ගෙන ඇති ක්‍රියා පිළිවෙත ජාතික අපරාධයක් බව එහි සේවකයින් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද පෙන්වා දෙති.

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල පරිශ්‍රයෙහි ඇති එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම හුදු රටේ ආර්ථිකයෙන් හා සම්පත් වලින් පලිගැනීමක් බවට ගුවන් තොටුපොළේ ඇතැම් නිලධාරීහු චෝදනා කරති.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක්ද මත්තල ගුවන් තොටුපලට එවා ඇති බව නිලධාරියෙක් පැවසුවේය.

කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සඳහා සොයා බැලීමට නිලධාරීන් පිරිසක්ද පැමිණ ඇති අතර එහි ඇති සංවේදී උපකරණ ගලවා ඉවත් කරන ලෙස ගුවන්තොටුපොළ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා පැවසුවේය .

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල 2009 නොවැම්බර් මස 27 වන දින මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට මුල් ගල තැබූ අතර 2013 වර්ෂයේ මාර්තු මස 18 වනදා එය විවෘත කෙරිණි.

ගුවන්තොටුපොළ ( A To Z ) වර්ගීකරණයට අනුව මත්තල ගුවන් තොටුපල අයත් වන්නේ F ( එෆ් ) කාණ්ඩයට වන අතර කටුනායක ගුවන් තොටුපල අයත් වන්නේ C ( සි ) කාණ්ඩයටයි.

එමෙන්ම A 380 වර්ගයේ ගුවන් යානාවක් පහසුවෙන් ගොඩ බැස්සවීමේ ගුවන් පථයකින්ද මත්තල ගුවන් තොටුපල සමන්විත වේ .

තරුණ තරුණියන් විශාල පිරිසකට ගුවන් තොටු පොල සහ ඒ ආශ්‍රිතව රැකියා අවස්ථා උදා විය.