ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉල්ලා අස් නොවීමට ජවිපෙ බල කළා - මායාදුන්නේ

පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් කාරක සභා මට්ටමිනුත් දූෂණයට එරෙහිව නැගී සිටීම තම මූලික අරමුණ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු විගණකාධිපති එස්.මායාදුන්න්නේ ප්‍රකාශ කරයි.

තම ඉල්ලා අස්වීමට ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව පැවසූ ඔහු තමන්ට ඉල්ලා අස් නොවන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් බලපෑම් එල්ලූ බව පැවසුවේය.

දූෂණයට එරෙහිවීම

දූෂණයට එරෙහි විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති බව හෝ දූෂණ චෝදනා ඇති පුද්ගලයන් කෙරෙහි බැරෑරුම් ලෙස සලකා බලා ඇති බව හෝ මැතිවරණයෙන් පෙන්නුම් නොකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එවැනි වාතාවරණයක් තිබියදී දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම ජනතාවගේ අභිලාෂයට පටහැනිවීමක් බවයි ඔහු කියා සිටින්නේ.

තම ඉල්ලා අස්වීමට එය එක් හේතුවක් වූ බව හිටපු විගණකාධිපති එස්.මායාදුන්නේ පැවසුවේය.

විශේෂ ප්‍රකාශයක්

අද (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාදය පෙරට යමින් තිබියදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි නව මන්ත්‍රී සරත් මායාදුන්නේ තමා එම පදවියෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නේ.

සරත් මායාදුන්නේ අටවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙනි.

මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් සිව්දෙනකු මහජන ඡන්දයෙන් තේරී පත් වූ අතර ජාතික ලැයිස්තුවෙන් ද මන්ත්‍රී පදවි දෙකක් එම පක්ෂයට හිමි විය.

ඉන් එක් පදවියක් ජාතික ලැයිස්තුවේ ප්‍රමුඛයා වූ සරත් මායාදුන්නේට හිමි වූ අතර මාතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කොට පරාජය වූ සුනිල් හඳුන්නෙත්තිට ඉතිරි පදවිය පැවරුණි.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි පිරිනමන ලද ආකාරය එම ලැයිස්තුවේ දෙවැනියාට නම සඳහන් ක්‍රිස්මාල් වර්ණසූරිය විසින් ප්‍රශ්න කරනු ලැබුණි.

පුරප්පාඩු වෙන මන්ත්‍රී පදවිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළේ නායකයන් කීප දෙනකුගේම නම් ඉදිරිපත්ව ඇත.