මායාදුන්නේ ඉල්ලා අස් වෙයි

අද (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාදය පෙරට යමින් තිබියදී විශේෂ ප්‍රකාශයක් කළ නව මන්ත්‍රී සරත් මායාදුන්නේ තමා එම පදවියෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නේය.

සරත් මායාදුන්නේ අටවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙනි.

මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් සිව්දෙනකු මහජන ඡන්දයෙන් තේරී පත් වූ අතර ජාතික ලැයිස්තුවෙන් ද මන්ත්‍රී පදවි දෙකක් එම පක්ෂයට හිමි විය.

Image copyright JVP
Image caption සුනිල් හඳුන්නෙත්ති (පා.ම.)

ඉන් එක් පදවියක් ජාතික ලැයිස්තුවේ ප්‍රමුඛයා වූ සරත් මායාදුන්නේට හිමි වූ අතර මාතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කොට පරාජය වූ සුනිල් හඳුන්නෙත්තිට ඉතිරි පදවිය පැවරුණි.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි පිරිනමන ලද ආකාරය එම ලැයිස්තුවේ දෙවැනියාට නම සඳහන් ක්‍රිස්මාල් වර්ණසූරිය විසින් ප්‍රශ්න කරනු ලැබුණි. ඉල්ලා අස් වූ මන්ත්‍රී සරත් මායාදුන්නේ හිටපු විගණකාධිපතිවරයකු වෙයි.

පුරප්පාඩු වෙන මන්ත්‍රී පදවිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළේ නායකයන් කීප දෙනකුගේම නම් ඉදිරිපත්ව ඇත.

විපක්ෂ නායක ඉල්ලීමක්

Image copyright AFP
Image caption නව විපක්ෂ නායක

මේ අතර අද (03) පාර්ලිමේන්තුවේදී නව විපක්ෂ නායකයා හැටියට අදහස් දැක්වූ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ‘විරෝධය පළ කළ යුතු සියලු අවස්ථාවන්හිදී ආණ්ඩුවට විරෝධය දක්වන අතර සහයෝගය දැක්විය යුතු සියලු අවස්ථාවන්හිදී සිය සහයෝගය ලැබෙන’ බවයි කියා සිටියේ.

තව දුරටත් අදහස් දැක්වූ නව විපක්ෂ නායකයා අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩුවට විපක්ෂයේ විරෝධය පළ කළේය.

තමන් මෙම දේශයට අවනත බව කියා සිටි විපක්ෂ නායකයා දමිළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් එම ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් ලබා දීම සියලු දෙනාගේම මූලික කාර්යභාරයක් වන බවත් අවධාරණය කළේය.