විපක්ෂ නායක පදවිය සම්බන්ධන්ට

ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දෙමළ ජාතික සන්ධානයට හිමි විය.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදියම් සම්බන්ධන් එම පදවියට පත් කළ බව කතානායක කරු ජයසූරිය අද (03) පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළේය.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවකට යාම නිසා පාර්ලිමේන්තුව තුළ තෙවැනි බලවත් දේශපාලන පක්ෂයේ නායකයා ලෙසටයි ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාට විපක්ෂ නායක තනතුර හිමි වන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විපක්ෂ නායක තනතුරට කිසිවකු යෝජනා කොට නැතැයි සඳහන් කළ කතානායක කරු ජයසූරිය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් එම පදවියට පත් කෙරෙන බවයි සඳහන් කළේ.

අමිර්තලිංගම්ගෙන් පසු

Image caption නව විපක්ෂ නායකයා රාජ්‍ය නායකයන් දෙදෙනකු සමඟ

විපක්ෂයේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙක් විපක්ෂ නායක ධූරයට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පත් කරන මෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියත් ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් පළ නොවුණි.

මෙය ශ්‍රී ලංකාවේ දමිළ නායකයෙක් විපක්ෂ නායක පදවිය ලද දෙවන අවස්ථාවයි.

1977 මහ මැතිවරණයෙන් අනතුරුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත් වූ අතර 1977 සිට 1983 දක්වා පදවියේ කටයුතු කළේය.

ඒ අනුව දෙමළ ජාතිකයකු විපක්ෂ නායකයකු එම පදවියට පත් වුණේ වසර තිස් දෙකකට කට පසුවයි.