ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමතිකම ගැන දැන සිටියේ නෑ - දයාසිරි

තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව කලින් දැන නොසිටි බව නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

"අද දවල් එකොළහමාරට මට කෝල් එකක් දීල කියන කොට තමයි මම දැනගත්තේ මට ඇමති ධුරයක්. මම ඒත් දන්නේ නෑ," ඔහු කියා සිටියේ නව ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් විමසීමක් කළ අවස්ථාවේ.

කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ නව ක්‍රීඩා අමාත්‍යවරයා, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී වයඹ පළාතේ මහ ඇමතිවරයා බවට පත්විය.

නව ආණ්ඩුවේ බහුතර බලය හොබවන එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කරන්නේ කෙසේ දැයි විමසු විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට කිසිවකු සමඟ පෞද්ගලික ගැටලුවක් නොමැති බැවින් භේදයකින් තොරව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙටි අධ්‍යයනයකින් පසුව නව අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

"මට වුවමනා වෙලා තියෙන්නේ ක්‍රීඩාව, ක්‍රීඩාව කරන අයට භාරදීලා, මගේ පාඩුවේ ක්‍රීඩා ඇමතිවරයා විදියට වැඩ කරන්න."