මැතිවරණය අවසන්: ආර්ථික අභියෝගවලට මුහුණ දෙමු

Image copyright Getty
Image caption 'ඩොලර් බිලියන 7.5ක් ලෙස පැවති සංචිත පසුගිය වසර වන විට 6.9ක් දක්වා පහත බැහැල තියනවා'

"මාස හැටකින් අලුත් රටක්", "අනාගතයට සහතිකයක්", "හෘද සාක්ෂියේ සම්මුතිය" යනාදී ලෙසින් මැතිවරණ සමය තුල දේශපාලන පක්ෂ විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී සිටින ආර්ථික ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කර තිබුණි.

එසේ විසඳුම් ඉදිරිපත් කළ නමුත්, ආර්ථික ප්‍රශ්න කවරේද යන්න විග්‍රහ කිරීමට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ උත්සුක නොවූ බව විශ්ලේෂකයන්ගේ මතයයි.

දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග සඳහන් කිරීමෙන් වැලකී සිටියේ, එම අභියෝගවලට විසදුම් ලබාදීම ඉතා දුෂ්කර කටයුත්තක් බව දැන සිටි නිසාද?

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු පෙන්වා දෙන පරිදි, විදේශ විනිමය මුදල් සංචිත ශීඝ්‍ර ලෙසින් පහල වැටීම නව ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක්.

Image copyright bbc
Image caption දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග සඳහන් කිරීමෙන් වැලකී සිටියේ, එම අභියෝගවලට විසදුම් ලබාදීම ඉතා දුෂ්කර කටයුත්තක් බව දැන සිටි නිසාද?

"ඩොලර් බිලියන 7.5ක් ලෙස පැවති සංචිත පසුගිය වසර වන විට 6.9ක් දක්වා පහත බැහැල තියනවා," ඔහු පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉතා ඉහළ ගෙවුම් ශේෂයක් පවතින බව ආචාර්ය උදාන් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ගෙවුම් ශේෂය

පසුගිය වසරේ ඩොලර් මිලියන එක්දහස් නමසිය පනස් හතරක්ව (US $ 1954m) පැවති ගෙවුම් ශේෂය මේ වසර වන විට සෘණ හත්සිය අනූ එකක් (US $ -791m) දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මේ අනුව අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකය සෘණ ගෙවුම් ශේෂයක් සමග පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.

අය වැය පරතරය, යහපාලන ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් ලෙස හඳුන්වා දෙන ආචාර්ය උදාන් ප්‍රනාන්දු, (සාකච්ඡාවට සවන් දෙන්න) ජනතාවට පොරොන්දු වී ඇති සහන ලබා දීමේදී ඉතා ඉහළ පිරිවැයක් දරන්නට සිදුවන අතර රජයට ආදායම් ලබා ගැනීමට බදු අය කිරීමේ සැලසුම් හෝ වෙනත් මාර්ගයක් නොමැති හෙයින් අය වැය පරතරය ඉතා ඉහළ යනු ඇති බවත් පෙන්වා දෙයි.

Image caption ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කිරීම කාර්යක්ෂම නොවන බැවින් 'ඇස්තමේන්තු ගත බදු ආදායම රජයට ලැබෙන්නේ නැහැ'

ශ්‍රී ලංකාව මේ වන විට මැදි ආදායම් ලබන රටක් බව පවසන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා, එක් අතෙකින් එය යහපත් තත්වයක් වුවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ තරඟ කිරීමේ දී පෙර පැවති සහන දායී තත්වයට වඩා වෙනස් තත්වයකට රටට මුහුණ දීමට සිදුවන බව බීබීසී සංදේශයට පැවසීය.

අඩු වැටුප් යටතේ ශ්‍රමය මිලදී ගැනීමට සහ අඩු වියදමක් යටතේ රටතුල ආයෝජනය කිරීමට පැමිණි සමාගම් නව තත්වය යටතේ අඩු මට්ටමකට පත් වීමත් මැදි ආදායම් රටක් බවට පත්වීමේ සෘජු ප්‍රතිඵලයන්.

මැදි ආදායම් ලබන රටක්

මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල් සමග තාක්ෂණික වශයෙන් තරඟ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැති අතර මැදි ආදායම් මට්ටම හේතුවෙන් බංග්ලාදේශය වැනි අඩු මුදලට ශ්‍රමය සපයන කුඩා රටවල් සමග තරඟ වැදීමේ හැකියාවද අහිමිව ඇති බවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනයෙන් සීයට 12 ක් වැනි ඉතා අඩු අගයක පවතින ඉතුරු කිරීම් දේශීය ආයෝජනය පහළ මට්ටමකට ඇද දමා තිබෙන බැවින් ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අභියෝගාත්මක තත්වයකට මුහුණ පා ඇති බවයි ඔහු පවසන්නේ.

Image copyright gov.lk
Image caption හම්බන්තොට ඉදි කිරීම් සිදු කිරීමට තෝරාගෙන ඇති ප්‍රදේශ හේතුවෙන් ඒ කරා ඇදෙන සමාගම් සහ යෝජනා හෝ මිලදී ගැනීම් අඩු තත්වයක

විදේශ විනිමය සංචිත පහළ වැටීමට හේතුව කුමක්දැයි සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආචාර්ය උදාන් ප්‍රනාන්දු පවසන්නේ ආනයන වලට ගෙවීමට තරම් ආදායම් අපනයන වලින් උපයා ගත නොහැකි තත්වයක් යටතේ සංචිත පහළ වැටීම සිදු වන බවයි.

වැඩි වන වැය පියවා ගැනීමට රජයට ඇති මූලික මාර්ගය බදු අය කර ගැනීම වන නමුත් ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කිරීම කාර්යක්ෂම නොවන බැවින් ඇස්තමේන්තු ගත බදු ආදායම රජයට නොලැබෙන බවයි ඔහු පවසන්නේ.

ඒ සඳහා බදු නීතිය ක්‍රියාත්මක කිරීමට නව සශෝධන ඉදිරිපත් කළ යුතුව තිබෙන අතර, වැට් බදු රට පුරා ව්‍යාප්ත පුළුල් පරාසයක් කරා ගෙන යාම ගතයුතුව තිබෙන තවත් පියවරක්.

මහින්ද රාජපක්ෂ සමයේ දියත් කළ දැවැන්ත ව්‍යාපෘති සහ වැඩි පොලී අනුපාතිකයක් යටතේ චීනය වැනි රටවලින් ලබා ගත් ණය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපා ඇත්තේ කෙසේදැයි සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආචාර්ය ප්‍රනාන්දු කියා සිටියේ එවැනි දැවැන්ත ව්‍යාපෘති වලට වැය වූ ප්‍රාග්ධනය නැවත ඇය කර ගැනීමට වසරකින් හෝ දෙකකින් නොහැකි බවයි.

ඒ සඳහා අඩුම වශයෙන් වසර දහයක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බව පවසන ඔහු කියා සිටියේ එම ව්‍යාපෘති ස්ථානගත කිරීමේදී සිදු වී ඇති වැරදි හේතුවෙන් වැය වූ ආදායම ඉපයීමට හැකිද යන්න ප්‍රශ්නයක් වී ඇති බවයි.

අලුතින් ඉදි කෙරුණු වරාය සහ ගුවන් තොටුපල උදාහරණ ලෙස පෙන්වා දුන් ඔහු කියා සිටියේ එම ඉදි කිරීම් සිදු කිරීමට තෝරාගෙන ඇති ප්‍රදේශ හේතුවෙන් ඒ කරා ඇදෙන සමාගම් සහ යෝජනා හෝ මිලදී ගැනීම් අඩු තත්වයක පවතින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර