යුද ආබාධිත කතකට පාර්ලිමේන්තුව විවෘත වෙයි

Image caption මිසයිලයෙන් විනාශ වූ සිය කකුල කපා ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය දැන් ගමන් කරන්නේ කෘත්‍රිම පාදයකින්

යුද්ධයෙන් දුෂ්කර තත්වයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සිය මන්ත්‍රී ධූර කාලය කැප කරන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පවසන්නීය.

ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පිවිසුණ පළමු යුද ආබාධිත මන්ත්‍රීවරියයි.

තමා පාර්ලිමේන්තුවට ආවේ ‘ජනතාවට සේවය කිරීමට මිස අසුනක් රත් කර ගෙදර යාමට නොවන බවයි’ නවක මන්ත්‍රීවරිය පවසන්නේ.

මිසයිල් ප්‍රහාරයක්

බීබීසී සංදේශය වෙනුවෙන් සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, තමා යුද්ධයේ දී මිසයිලයක් වැදීමෙන් කකුලක් අහිමි කර ගත් කාන්තාවක් වන බවත් එම අමිහිරි මතකය තුලින් තමා දේශපාලනය තෝරා ගත් බවයි.

මිසයිලයෙන් විනාශ වූ සිය කකුල කපා ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව දැන් ඇය කෘත්‍රිම පාදයකිනුයි ගමන් ගන්නේ.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීන් 63 දෙනා ගෙන් කෙනකු වන ඇය පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් දහතුන් දෙනා අතර විශේෂ තැනක් හිමිකර ගනී.

මාතාවක් වශයෙන්

රජයේ සේවිකාවක් වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා 2009 වසරේ පෙබරවාරි මාසයේ මිසයිල ප්‍රහාරයකට ගොදුරු වී ඇත්තේ සිය රාජකාරියේ නිරත වෙමින් සිටියදී.

ඇය එම අනතුරට ගොදුරු වන විට වන්නි දිස්ත්‍රික්කයේ තුරුක්කාලි ප්‍රදේශයේ සැලසුම් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව හැටියටයි කටයුතු කර තිබෙන්නේ.

TNA ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කෙරුණ මන්ත්‍රීවරිය පවසන්නේ ආබාධිත පුර වැසියකු වශයෙන් ද මවක් වශයෙන්ද තමා වැනි යුද ආබාධිතයන්ට සහ තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු කළ හැකි කාර්යභාරයක් තමා සතු බවයි.

පිහිට විය යුතු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යනතර මට්ටමින්ද හඬ නැගීම තම සැලැස්ම බවත් නව මන්ත්‍රීවරිය පවසයි.