වසරකට අලි '175 ක් මරා දමන' ශ්‍රී ලංකාව

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption 'දැනට වසරකට වන අලින් 250 ක් පමණ ලංකාවේ මිය යනවා. ඒ අතරින් මිනිස් ක්‍රියා කාරකම් නිසා වන අලින් 175 ක් පමණ මිය යනවා'

ආගමික වත්පිළිවෙත්, චිත්‍රපට, විවිධ ක්‍රියාකාරකම් ඇතුළු නොයෙක් කටයුතු සඳහාද යොදා ගනිමින් කාලාන්තරයක් මුළුල්ලේ ලාංකීය සංස්කෘතියට බද්ධව සිටි අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය දුරස් වී ජීවිත විනාශ වීමේ අවදානමක් මතු වී තිබේ.

සංවර්ධන කටයුතු වලට සහ නීති විරෝධීව සිදුවන වන සංහාරය අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්වයට පත් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ස්වාභාවික සංචරණ භූමි අහිමි වීමත් ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වීමත් යන කාරණා පදනම් කරගෙන වන අලින් නිරන්තරයෙන් ගම් වැදීම් සිදු වන බවයි, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙන්නේ.

අහිමි වන ජීවිත

"දැනට වසරකට වන අලින් 250 ක් පමණ ලංකාවේ මිය යනවා. ඒ අතරින් මිනිස් ක්‍රියා කාරකම් නිසා වන අලින් 175 ක් පමණ මිය යනවා," ඔහු පැවසීය.

"ඒ වගේම වන අලින් පහරදීමෙන් මිනිස් ජිවිත 70 ක් 80 ක් පමණ අහිමි වෙනවා."

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මඩකලපුව දිස්ත්‍රික්කයට දෙවැනි ස්ථානය හිමි වන අතර, මින්නේරිය වැනි ප්‍රදේශවලද ගැටුම බහුලව පවතී.

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මඩකලපුවට හිමි වන්නේ දෙවැනි ස්ථානය

අලි මිනිස් ගැටුමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක අලියකුගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වුණේ මින්නේරියේ සමගිපුරදී.

"යුද්ධයෙන් පස්සේ නැගෙනහිර ප්‍රදේශ තුළ ජනතාව පදිංචි කිරීමත් සමග අලි මිනිස් ගැටුම වැඩි වෙමින් පවතිනවා. මොකද කාලයක් එම ප්‍රදේශ අලින්ගේ වාසස්ථාන වී තිබුනා," පශු වෛද්‍ය විජිත පෙරේරා තවදුරටත් පැවසීය.

"මේකට ප්‍රධානතම හේතුවක් තමයි මිනිසුන් අලින්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම."

කොටි මිනිස් ගැටුම

අලීන්ගේ ජීවන රටාවට සරිලන වනාන්තර තිබිය යුතුය. එපමණකින්ද මෙම අලි මිනිස් ගැටුමට පිළියම් සෙවිය නොහැක.

Image caption ගතව ගිය වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවේදී දිවියන් 20 දෙනකු පමණද මරා දමා තිබේ

ගව කර්මාන්තය වෙනුවෙන් වන අලින්ට හිමි කැලෑ ප්‍රදේශ තුලට ගවයින් ඇතුළු කිරීම තුලින් වන අලින් බුදින තෘණ ගවයින් කෑම එක ප්‍රධාන ගැටලුවක්. වන අලියා යනු ඉඳුල් නොකරන ලද තෘණ ගන්නා සතෙක් බැවින් ගවයින් බුදින තණකොළ කෑමට අලින් ගේ කමත්ත්කන් නැත.

පටු කැලෑ ප්‍රදේශයක් තුල ඔවුනට අවශ්‍ය තරම් ආහාර නොලැබීම නිසා ගම් වල සීමාවට පැමිණෙන අලියාට ගමේදී අවශ්‍ය රස මුසු හමු වේ.

ඒ ගොවියාගේ ගොවි බිම්ය. ඇබ්බැහි වීම් වලට කැමති අලියා ඔවුනට පුරුදු ආහාර සොයා නිතර ගම් වදින්නේ එබැවිනි.

පෙරහැරේ යන අලියා පාවඩය දමන තුරු අඩිය නොතියා සිටිනා සේම දිවට දැනෙන රසයටද පුරුදු වීම ඔවුන්ගේ සිරිතයි.

වන අලි පිරිමි සතෙකු වයස අවුරුදු 12-13 අතර කාලය තුල වැඩි වියට පත්වීමෙන් පසු පිරිමි සතුන් රංචුවෙන් පන්නා දමයි. එහිදී සංසරන කටයුතු සඳහා වෙනත් රංචුවක සහකාරියක් සොයාගත යුතුය. තනි අලින් ලෙසින් බොහෝ විට ගම වදින්නේ මෙසේ රැලෙන් පන්නා දමා ඇති පිරිමි සතුන්ය.

Image caption පටු කැලෑ ප්‍රදේශයක් තුල ඔවුනට අවශ්‍ය තරම් ආහාර නොලැබීම නිසා ගම් වල සීමාවට පැමිණෙන අලියාට ගමේදී අවශ්‍ය රස මුසු හමු වේ

මඳ කිපෙන සමය ලෙස ගැමියන් හඳුන්වන කාලය තුල වන අලියාට සහකාරිය සොයාගත නොහැකි වුන විටදී වන අලියා තුලින් දරුණු ගති ලක්ෂණ දැකිය හැකි වේ.

බලධාරීන් විවිධ අවස්ථා වලදී මේ ගැටුමට පිළිතුරු සෙවීමට කටයුතු කළ නමුත් වන අලින්ට ආවේණික පුරුදු කෙරෙහි නිසි අවධානයක් අවබෝධයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් අලින්ගෙන් වගාවන්ට සිදු වන හානිය දිනෙන් දින උග්‍රවෙමින් පවතී.

වෙනත් වනෝද්‍යාන වලට හා කැලෑ ප්‍රදේශයන්ට සංක්‍රමණය වීම සඳහා අලින්ට නියමිත අයුරින් අලිමංකඩවල් ඇතුළු විධිවිධාන සකස් කිරීමත් අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීමේදී අවධානයට ලක් විය යුතු කරුණුය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර