ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තනිව හෝ සටන් කරනවා - රන්ජන්

දූෂණ චෝදනා එල්ලවී තිබෙන මන්ත්‍රීවරුන්ටත් අමාත්‍ය ධුර ලබාදී තිබීම ගැන කණගාටුවන බව නව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ඔහු එම අදහස් පළ කළේ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඇත්තටම කණගාටුයි දූෂණ චෝදනා තියෙන අයට ඇමතිකම් ලබාදීම ගැන. මේ ලෝකේ පක්ෂෙට දරදිය ඇදපු කෙනාටත් පැනපු කෙනාටත් තියෙන්නේ එකම ගෞරවය. කුඩු ගෙන්වපු කෙනාටත් නොගෙන්වපු කෙනාටත් තියෙන්නේ එකම ගෞරවය. ඒක වෙනස් විය යුතුයි කියල මම හිතනවා," ඔහු පැවසීය.

"මගේ යාළුවෝ අහනවා ඇයි රන්ජන් අයියේ, ඔයත් අර පක්ෂෙන් මේ පැත්තට පැනල, ආයෙත් මෙහෙට පැනලා, එහෙට පැන්න නම් ඔයත් අද කැබිනට් ඇමති නේද කියල."

තමන් කිසි දිනක කිසිම හේතුවක් නිසා තම ප්‍රතිපත්ති පාවා නොදෙන බව පැවසූ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන්ගේ ඇමති මණ්ඩලයේ සිටින චෝදනා ඇති ඇමතිවරුන්ට එරෙහිව තම සටන දිගටම ගෙන යන බව අවධාරණය කළේය.

"මට ඒ අය එක්ක තේ බොන්න වෙයි. එකට වාඩි වෙලා ඉන්න වෙයි. මට ඒ අයත් එකක් හිනාවෙන්න වෙයි. හැබැයි මම ඒ අය එක්ක උදේ හිනාවෙලා හවසට අල්ලස් කොමිසමට යනවා."

මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකාවෙන් හත් වැනියා ලෙස වැඩිම මනාප ලබාගත්තේ රන්ජන් රාමනායකයි.

මැතිවරණයෙන් පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණ, එස් බී දිසානායක අමාත්‍යවරයාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියාකිරීමට සිදුවීම ගැන විමසීමේදී ඔහු කියා සිටියේ ඒ ගැන තමන්ටද "අවුලක්" ඇති බවයි.

කෙසේ වෙතත් පරිණත හා මිත්‍රශීලි දේශපාලකයකු වන එස් බී දිසානායක සමග එක්ව ජනතාවට සේවය කිරීමට උත්සාහ ගන්නා බව ඔහු කියා සිටියේය.

ඉහල මනාප ලබා තිබියදී කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවීම පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ, ඒ ගැන විමසිය යුත්තේ ඇමති මණ්ඩලය තේරූ නායකයන්ගෙන් බවයි.