උතුරේ වේදනාව ප්‍රතිනිර්මාණය කරන 'එල්ටීටීඊ සිනමාවේදියා'

Image copyright Shivanthi Fernando

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි.

නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි.

ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදයෙකුගේ කඩවුණු පොරොන්දුව සමග යාපනයේ චිත්‍රපටි නිමවන ඔහු කේසවරාජන් නවරත්නම් ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් සිනමා සිත්තම සිය නිර්මාණයක් බවයි ඔහු පවසන්නේ. 'කොටි චිත්‍රපටයක්' ලෙසින් දකුණේ සමාජය එය බැහැර කළත් ඒ විසංවාදය නොතකා ඔහු තවමත් නිර්මාණකරණයේ යෙදී සිටියි.

යුද්ධයෙන් පසු තරුණ වැන්දඹුවගේ ජීවන ඛේදවාචකය පනෛමරකාඩු (තල්වනය ) සමගින් කේසව මේ වන විට කාර්යබහුල වී සිටියි. ඒ බිඳී ගිය සිය එක් අතක්ද සමගිනි.

Image copyright Shivanthi Fernando
Image caption යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි

ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී නිර්මාණකරණයේ යෙදුනු කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරමින් සිටියි. මේ ඔහු අප සමග කළ සංවාදයකි.

එල්ටීටීඊ යට හදපු චිත්‍රපටි දැන් හදන්නෙ කාටද?

කේසව: මම චිත්‍රපටි හැදුවෙ මගේ මිනිස්සුන්ට. එල්ටීටීඊ ය එක්ක චිත්‍රපටි හදන්න ඉස්සර මම චිත්‍රපටි කළා. ලංකා දෙමළ සිනමාව කියලා තමයි ඉස්සර කීවෙ. 1986 හා 1987දී මම මගේ පළමු හා දෙවැනි චිත්‍රපටි කළා. ඊට පස්සෙ අපේ නිර්මාණ වෙනුවෙන් එල්ටීටීඊ ය උදව් කළා. මම ඒව කළේ අපේ මිනිසුන් වෙනුවෙන්.

චිත්‍රපටියකින් මිනිසුන්ට කළ හැකි සේවය මොකක් කියලද කේසව හිතන්නෙ?

කේසව: ගොඩක් දේවල් කරන්න පුළුවන්. චිත්‍රපටියකට පුළුවන් ගොඩක් දේ 'චේන්ජ්' කරන්න. හොඳ 'අයිඩියාස්' නිර්මාණය කරන්න. ප්‍රශ්න ගැන අලුතින් හිතා ඒවට උත්තර හොයන්න චිත්‍රපටියකින් පුළුවන්. Through that we can make a good society. And solve the problems.

චිත්‍රපටියකට දේශපාලනයක් තියෙන්න පුළුවන්ද?

Image copyright Shivanthi Fernando

කේසව: දරුවෙකු උරා කිරි බොන්න පටන් ගන්න තැනින් දේශපාලනය පටන් ගන්නෙ. You can understand what I say. අඬනකොට තියෙන්නෙ දේශපාලනය. මිනිසුන්ගෙ ප්‍රශ්න ඇතුළෙ තියෙන්නෙ දේශපාලනය. ඒ නිසා දේශපාලනය නොකර බැහැ. සිංහල හා දෙමළ ජාතිවාදය කියන දෙකටම මම විරුද්ධයි. මම කතා කරන්නේ පොඩි මිනිසුන් ගැන. ඒක ප්‍රභාකරනුත් පිළිගත්තා.

එල්ටීටීඊ යේ යුගය දැන් ඉවරයි. චිත්‍රපටි කරන්න දැන් තිබෙන අර්බුදය එය නැති වීමද?

කේසව: මම ඒක කියන්නම්. එල්ටීටීඊ එක තියෙද්දිත් මේ ප්‍රශ්න තිබුණා. නමුත් මම චිත්‍රපටි කළේ මිනිසුන් වෙනුවෙන්. මම හා මගේ මිනිසුන් මුහුණ දුන් ප්‍රශ්න ඉස්සර තිබුණට වඩා දැන් වැඩියි. පොඩ්ඩක් 'සයිලන්ස්' වගේ පේනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපට අයිතිය තිබෙනවා.

චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු නැති ප්‍රශ්නයද ඔය කියන්නෙ?

කේසව: චිත්‍රපටියට නිෂ්පාදකවරයෙක් ඉන්නවා. එයා කියන්නෙ චිත්‍රපටිය ඉවර කරන්න, මම දෙන්නම් සල්ලි ටික කියා. මේ යුද්ධෙන් මගේ යාලුවො හුඟක් නැති වුණා. දැන් මම හොයා ගත් අලුත් යාලුවො, ඔවුන් මම හිටි මේ සමාජයේම හොටපු අය. ඔවුන් හැම අතින්ම මට උදව් කරනවා නිෂ්පාදකවරයෙකුන් විය යුතු හැමදේම ගැන හිතමින්.

Image copyright Shivanthi Fernando
Image caption ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී චිත්‍රපටි කළ කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරයි

යුද්ධය ආදීනව මේ වෙද්දි ශ්‍රී ලංකාවේ හැදුණ චිත්‍රපටි ගැන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු හැටියට තියෙන අත්දැකීම?

කේසව: හොඳ චිත්‍රපටි තිබෙනවා. අපිට වඩා හොඳට 'ෆිල්ම්ස්' කරපු අය අපි දකිනවා. ඒ වාගේම මම දැකලා තියෙනවා බොරු දේවල් කියනවා දෙමළ මිනිස්සු ගැන. උදාහරණ විදිහට 'මාතා' චිත්‍රපටිය. ඒකෙ වෙනවා වගේ දේවල් අනිත් පාර්ශවලින් අපිටත් වෙලා තිබෙනවා. ඒවා කරලා සාමය හදන්න බැහැ. ඒකෙන් සමහරු සතුටු වෙයි. ඒත් අපි මනුෂ්‍යකම ගැන කතා කරන්න ඕනෙ. ඇත්ත කතා කරන්න ඕනෙ. ඒක කරන්න කලින් ඒ ගැන දැනගෙන ඉන්න ඕන. අපි දින්නා, අපි වීරයො කියල හිතාගෙන දේවල් කරන්නෙපා. දෙමළ මිනිස්සු දන්නවා, සිංහල මිනිස්සු දන්නවා මොකක්ද වුනේ කියල. දෙමළ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නවලට සිංහල මිනිස්සුත් මුහුණ දෙනවා. සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන දෙමළ මිනිස්සු දන්නවා. දේශපාලන ඉතිහාසය ගැන බොරු කියලා මේ රට දෙකට කඩන්න එපා. තාම ලංකාව දෙකඩ වෙලා තියෙන්නෙ. එකට නෑ. යුද්ධය ඉවර වුණාට ලංකාව එකට නෑ. මැයි 19 වැනිදා යුද්ධෙ ඉවර වෙලා අපි අඬනවා. එහෙ හිනා වෙනවා. අපිට අඬන්නවත් ඉඩ දෙන්නෙ නෑ. දෙකඩ කරලා මේක. මාධ්‍යවේදීන්, දේශපලඥයින් මේ සියල්ල ගැන සිතිය යුතුයි.

සිනමාවෙන් ඒ රට එකතු කරන්න කේසව ලෑස්තියි?

කේසව: ඔව්. ඒක දේශපාලඥයින්ට කරන්න බෑ. ඒ අය කරන්නේ හම්බ කරන එක. කුඩු, එතනෝල් බිස්නස් කරලා තියෙනවා. බාර් ලයිසන් අරන් තියෙනවා. යුද්ධෙ නැතිව මිනිස්සු මරලා තියෙනවා. ඒ යුද්ධයක් නැතිව.

එල්ටීටීඊ ය නැතිව චිත්‍රපටි කරන එක දැන් අමාරුද?

කේසව: මම එල්ටීටීඊ ය එක්ක 'ෆ්‍රීලාන්සර්' විදිහට ගනුදෙනු කළේ. මම කළ හැමදේම කළේ මගේ හිතට එකඟව. මේ ආණ්ඩුවෙන් මට 'ස්පොන්සර්' කරනවා නම් දිගටම මම චිත්‍රපටි කරන්න ලෑස්තියි. ජනවාරි 08ට කලින් අපිට කැමරා අරගෙන පාරට බහින්න බැහැ. 'ඉන්කවයිර්යි' කෙරෙනවා. දැන් එව්වා නෑ. ඒක මේ රටේ හොඳ 'සයින්' එකක් විදිහට මම කල්පනා කරනවා. මේකයි වෙලාව රටේ සාමය හදන්න. මේ වගේ වෙලාවක් නැවත අපිට ලැබෙන්නෙ නෑ.

අලුතෙන් හදන චිත්‍රපටිය යාපනයටද හදන්නෙ? ලංකාවටද?

කේසව: ලංකාවට. මම කියන්නෙ අපි කරන්න ඕන දෙයක් තිබෙනවා අපේ මිනිසුන්ට. මම කියන්නේ මේකයි. නිකන් ආණ්ඩුවට ඇඟිලි දික් කරන්නෙපා. අපි අපේ මිනිසුන්ට කරන්න ඕන දේ ගොඩක් තියෙනවා. කරන්න ඕන වගේම කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා. ඒ ගැන කතා කරන්න මෙහෙ දේශපාලඥයින් කැමති නෑ. මෙහෙ තරුණ වැන්දඹුවන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අපිට තියෙන 'ඇජෙන්ඩා' මොනවද? අධ්‍යාපනය ගැන තියෙන වැඩපිළිවෙළ මොනවාද? යුද්ධය තියෙද්දි අපිට ඇඬුණා. හැමදාම අපේ අය මැරුණා. අපේ අය තුවාල වුණා. ඒත් 'ස්ට්‍රක්චර්' එකක් තිබුණා. බහුතරයක් ඉන්න වැන්දඹුවන්ට මොනාද වෙන්නෙ? එයාලගෙ ළමයින්ට මොකද වෙන්නෙ? කවුද උත්තර දෙන්නෙ? තීන්දුව කවුද දෙන්නෙ? තීන්දුව ගන්න ඕන අපිමයි.

චිත්‍රපටි කර කර ඉන්නවට වඩා විදේශගත වෙන එක හොඳයි කියලා හිතුනෙ නැද්ද?

කේසව: නෑ එහෙම හිතුණෙ නෑ. මොකද මම මේ ඇති වුණ යුද්ධෙට වග කිව යුත්තෙක් කියලා මගේ හැඟීමක් තිබුණා. මේකෙන් වුණ දුකට, හානියට මමත් කොටස්කාරයෙක් කියලා හැඟීමක් තිබුණා. දකුණේ තරුණ හමුදා සෙබළුන්ගේ අම්මලත් මෙහෙ අම්මලා වගේම අඬනවා. ඉහළ තනතුරු දරපු අයයි, දේශපාලඥයිනුයි දන්නවා මොකද වුණේ කියලා. අපි දන්නේ නැහැ. කවුරුත් කතා කරන්නේ නැහැ.

ඉදිරි චිත්‍රපටිත් දේශපාලනය තේමා කර ගත් ඒවා වෙයිද?

කේසව: නෑ. 'කරන්ට් අෆයාර්ස්' තෝරා ගන්නෙ. මෙහෙ හැමදේකටම හේතුව යුද්ධය. යාපනය දැන් දියුණුයි කියන්න හේතුවත් යුද්ධයයි. මට අවි ආයුධ ගැන විශ්වාසයක් නැහැ. මම වෙඩි තියලා නැහැ. කාටවත්. ලස්සන ලංකාවක් හදන්න උත්සාහ කරන වෙලාවෙ කලාකාරයො, දේශපාලඥයො, මාධ්‍යවේදීන් මේකට එකතු විය යුතුයි. මම ලංකාවෙ පළවැනි ඩිජිටල් සිනමාකරුවා කියන එක තවමත් සමහරු විශ්වාස නොකරන්නෙ සමහරවිට එවැන්නන් හිතන්න ඇති වවුනියාවෙන් එහා ලංකාවක් නැතුව ඇති කියා.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර